Language Switcher

V2025

ගාල්ල ක්‍රීඩාංගණයට වෙනදේ ගැන : ඇමති වජිර කියන කතාව  ! 

ගාල්ල මහජන ක්‍රීඩාංගණය කිසිසේත්ම වෙනස් නොකරන බවත් සාමාන්‍ය ජනතාවටත් රජයටත් එකම නීතියක් ක්‍රියාත්මක විය යුතු බවත් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසයි. 

නිවේදනයක් නිකුත්කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරන අතර එහි වැඩිදුරටත්  සඳහන් වන්නේ  සමාජ ජාල ඔස්සේ සඳහන් කර ඇති ආකාරයට ගාල්ල ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් ප්‍රචාරය වන අසත්‍ය මතයන්ට නොරැවටෙන ලෙස තමන් ඉල්ලා සිටින බවයි.

එම නිවේදනය මෙසේය.

''ගාලු පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත් වෙනස්වෙන්නේ නැත. ලෝක උරුම ප්‍රදේශයක ඉදිකිරීම් කටයුතු කරන විට නාගරික සංවර්ධන අධිකාරිය, අදාල පළාත් පාලන ආයතනය එනම් ගාල්ල මහ නගර සභාව ලෝක උරුමයේ නියෝග ක්‍රියාත්මක කරන ගාලු උරුමය පදනම (යුනෙස්කෝ සංවිධානය ලබා දී ඇති නිර්ණායක අනුව අදාල අනුමැතිය ලබාදීම සඳහා) වෙතින් අනුමැතිය ලබාගත යුතුය.

එය එසේ සිදුවී නොමැති බව එවකට නාගරික සංවර්ධන විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධන මහතා ද පිළිගෙන ඇත. ඒ අනුව දැනටමත් යමක් කමක් කරගත නොහැකි සාමාන්‍ය ජනතාවට අනවසර ඉදිකරීම් සඳහා අධිකරණයේ නඩු පවරා ඇති අතර එවකට පැවැති රජය විසින් ගාල්ල මහජන ක්‍රීඩාංගණයේ කර ඇති  නීති විරෝධී ක්‍රියාවට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැත.

නීතිය කාටත් පොදුය. පොදු ජනතාවට ක්‍රියාත්මක කරන නීතිය රජයටත් එසේම ක්‍රියාත්මක කළ යුතුය. මා මේ අවස්ථාවේ දී විදේශගත වී සිටින බැවින් ඉතා පැහැදිලිව වගකීමකින් යුතුව මෙලෙස ප්‍රකාශ කරනුයේ පොදු මහජන ක්‍රීඩාංගණය කිසිසේත්ම සමාජ මාධ්‍ය ජාලයන්හි ඇතැම් පුද්ගලයන් විසින් ප්‍රකාශ කරන පරිදි වෙනස් කරන්නේ නැති බවයි. ශ්‍රී ලංකාවට යළි පැමිණි වහාම මා විසින් සම්පූර්ණ විස්තර සහිතව මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමට කටයුතු කරන බව ද අසත්‍ය ප්‍රචාරයන්ට රැවටීමෙන් වැළකී සිටින ලෙස ද සමස්ථ ක්‍රීඩා ලෝලීන් සහ ජනතාව වෙත මතක් කර සිටිමි. "