Language Switcher

V2025

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රිට  මැති සබේ තහනම් කල ඇත්ත හේතුව මෙන්න

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පයිස්ලි (Ian Paisley) මහතාට දින තිහක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිම නිසා නොව ශ්‍රී ලංකා රජයෙන් ලැබුණු මුදල් පෞද්ගලික පරිහරණය සඳහා යොදා ගැනීම හේතුවෙන් බව උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු ඇමැති විජයදාස රාජපක්ෂ  ඊයේ (20) පාර්ලිමේන්තුවේ දී  ප්‍රකාශ කළේය.

  ශ්‍රී ලංකාවට කිහිප වරක් පැමිණි ඉයන් පයිස්ලි මහතා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ආචාර ධර්මවලට පටහැනිව එරට නීති-රීති උල්ලංඝනය කරමින් ලංකාවේ මුදල් ගෙන පරිහරණය කිරීම යන චෝදනාව යටතේ විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් ඇමැතිවරයා සඳහන් කර ඇත.

ඉයන් පයිස්ලි මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඒ මහතාට දින තිහක පාර්ලිමේන්තු අත්හිටුවීමක් සිදුකර ඇති බවට ඇතැම් පුවත්පත් ඊයේ (20) වාර්තා කර තිබූ බවත් එම පුවත් සාවද්‍ය බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මේ අතර  පාර්ලිමේන්තු නීති කඩ කිරීම හේතුවෙන් බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරයෙකු වන ඉයන් පයිස්ලි මහතාට සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට බල කිරීමට ඉඩ ඇති අතර අතුරු මැතිවරණයකට මුහුණ දීමට සිදු වනු ඇති බව 'බීබීසී සිංහල සේවය' වාර්තා කර තිබේ.

'බීබීසී' වාර්තාවේ දැක්වෙන ආකාරයට  2013 වසරේදී දෙවරක් සිය පවුලත් සමග ශ්‍රී ලංකා ආණ්ඩුවේ වියදමින් සිදු කළ සංචාර පිළිබඳ හෙළි කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහුට දින 30 ක කාලයක් පාර්ලිමේන්තුව තහනම් කර ඇත.

'ද ඩේලි ටෙලිග්‍රාෆ් (the Daily Telegraph) පුවත්පත මේ පිළිබඳ 2017 වසරේ සැප්තැම්බර් මස මුලින්ම වාර්තා කර තිබුණි.

පාර්ලිමේන්තු තහනම පිළිබඳ තීරණය තමන් පිළිගන්නා නමුත් ද ඩේලි ටෙලිග්‍රාෆ්හි පළවූ වාර්තාව පිළිබඳ තමන්ට ගැටලු ඇති බව ඉයන් පයිස්ලි මහතා මාධ්‍ය වෙත පවසා තිබිණ. 

ඉයන් පයිස්ලිගේ නීතීඥවරයා ප්‍රකාශයක් නිකුත් කරමින් පැවසුවේ ඔහුගේ සේවාදායකයා "තමන්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණ සත්කාර පිළිබඳ හෙළි කිරීමට බැරි වීම ගැන සමාව ඉල්ලා සිටිනවා" යනුවෙනි.

ඔහු අයර්ලන්තයේ ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති පක්ෂයේ (DUP) සාමාජිකයෙකි.

අදාළ මන්ත්‍රීවරයාගේ ක්‍රියාව පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් නිකුත් කළ වාර්තාව තමන් නිරීක්ෂණය කළ බව දැන්වූ DUP පක්ෂය "මේ ගැන පක්ෂයේ බලධාරීන් අවදානය යොමු කර සිටින බව“ පැවසීය.

ඉයන් පයිස්ලි මහතා සිය තනතුරෙන් ඉල්ලා අස් විය යුතු බව ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් ඇතුළු බ්‍රිතාන්‍ය දේශපාලනඥයන් බොහෝ දෙනෙකුගේ මතය වී තිබේ.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු විශේෂ කමිටුවක් ඉදිරිපත් කළ වාර්තාවකට අනුව ඉයන් පයිස්ලි මහතා පහත සඳහන් නීති කඩ කර තිබේ:
2014 මාර්තු මස 19 වන දින බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යවමින් ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ යෝජනාවකට සහයෝගය පළ නොකරන ලෙස ඉල්ලා ඇත. මෙම ඉල්ලීම ශ්‍රී ලංකාව වෙනුවෙන් කරන විශාල උපකාරයක් ලෙස දක්වා තිබුණි. නමුත් ඉන් පෙර මාස දොළහ තුළ ශ්‍රී ලංකා රජයෙන් ඔහුට පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාරය ලැබී තිබිණි.

අග්‍රාමාත්‍යවරයා වෙත යැවූ ලිපියේ ශ්‍රී ලංකා රජයෙන් තමන්ට ලැබුණ පෞද්ගලික වාසි සහ ආගන්තුක සත්කාර පිළිබඳ සඳහන් කිරීමට අපොහොසත් වීමෙන් පාර්ලිමේන්තුවේ නීති රීති කඩ කර ඇත.

2013 මාර්තු සහ අප්‍රේල් මාසවලදී පවුලේ සාමාජිකයන් සමඟ ශ්‍රී ලංකාවේ කළ සංචාරයන් දෙක ගැන පාර්ලිමේන්තුව විසින් එකඟ වූ දින 28 ඇතුළත ලියාපදිංචි කිරීමට අසමත්වීම.

මෙම වාර්තාව සඳහන් "කාරණයේ බරපතළකම" සලකා බැලීමෙන් පසු කමිටුව තීරණය කරන ලද්දේ 2018 සැප්තැම්බර් 4 සිට දින 30 ක කාලයක් ඉයන් පයිස්ලි මහතා සේවයෙන් ඉවත් විය යුතු බවය.

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පයිස්ලි (Ian Paisley) මහතාට දින තිහක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවා ඇත්තේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටිම නිසා බව ඒකාබද්ධයට හිතවත් මාධ්‍ය විසින් ප්‍රචාරයක් ගෙන යන අතර සමාජ මධ්‍ය ජාල ද එම මෙහෙයුමට එක්ව තිබේ.

එහෙත් ඉතා පැහැදිළිව මෙම සිදුවීම හරහා පෙන්නුම් කරන්නේ  රාජපක්ෂ පවුල් පාලනය සුරක්ෂිත කර ගැනීමේ අරමුණින්   රාජපක්ෂවරු පිළිගත් රාජ්‍ය තාන්ත්‍රික නීතිරීති පවා නොසලකා සිය සුපුරුදු “අල්ලස් දේශපාලන න්‍යාය“ දියත් කර තිබෙන බවය.

එසේම රාජපක්ෂලා ගෙන ගිය දුෂිත සහ අසම්මත බල හැසිරවීම හේතුවෙන් ලංකාව ලෝකය තුළ හුදකළා වෙමින් තිබු බවත් ඒ හේතුවෙන් මෙවැනි කූට හැසිරීම් හරහා ප්‍රතිරූපය නැවත හදාගන්නට පහත් උත්සාහයක් ගෙන ඇති බවත්ය.

මේ සමඟ චීන සමාගම් වලින් අල්ලස් ලබාගත් රාජපක්ෂලාට තිබෙන බටහිර විරෝධය ද පැහැදිළිය.