Language Switcher

V2025

විවෘත වරෙන්තුකාර රාජපක්ෂ ඥාතීන් දෙකක් ඇට්ලන්ටාවේදී කැමරාවට කොටුවේ..! 

අධිකරණයේ වරෙන්තු සහිතව රට පැන සැඟවී සිටින තවත් රාජපක්ෂ ඥාතීන් දෙදෙනෙකු වන ඇමරිකාවේ හිටපු තානාපති ජාලිය වික්‍රමසූරිය සහ එයාර්පෝට් එවියේෂන් සමාගමේ හිටපු සභාපති ලුතිනන් කර්නල් ප්‍රසන්න වික්‍රමසූරිය දෙදෙනා පසුගියදා ඇමරිකාවේ ඇට්ලන්ටා හි පැවැති සාදයකට සහභාගී වී සිටින අන්දම මෙහි දැක්වෙන සේයාරූවල දැක්වේ.

මේ හොරුන් දෙදෙනා රාජපක්ෂලාට ඥාතීන් වන්නේ මෙසේය. මහින්දලාගේ ලොකු තාත්තා වන ඩී.එම්. රාජපක්ෂගේ බාලම දියණිය වූ කමලා වික්‍රමසූරිය වනාහී ජාලිය සහ ප්‍රසන්නගේ අම්මා ය. එනම් මොවුන්ට මහින්ද සහ සහෝදරයන් මාමලා වේ. 

මෙවැනිම රාජපක්ෂ ඥාතී හොරෙක් වූ උදයංග වීරතුංග ලංකාවට ගෙනැත් දෙනවා යයි මහින්ද රාජපක්ෂ වහසි බස් කීවා නම් ජාලිය සහ ප්‍රසන්න ද ගෙනත් දෙනවාදැයි ප්‍රශ්න කළ යුතුය.

2008 වසරේදී ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේදී ඇමරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස් දෙදහසක (3,32000) මුදලක් ගසා කෑවේ යයි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ජාලිය වික්‍රමසූරියට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබේ. ගසා කෑම මෙසේය.

අමෙරිකාවේ තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිල දී ගැනීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 6.6ක් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා වැය කර ඇති අතර, එම මිල දී ගැනීම සිදු කර ඇත්තේ තැරැව්කාර සමාගමක් හරහාය.

අදාළ මිල දී ගැනීමෙන් පසුව තැරැවුකාර සමාගම පවසා ඇත්තේ ඩොලර් 3,32,000ක මුදලක් ඉතිරිව ඇති බවයි. එම මුදල් මේ සඳහා උපකාර කළ ඇමරිකාවේ සමාගමකට කොමිස් මුදල් ලෙස ලබා දෙන්නැයි ඊ-මේල් පණිවිඩයක් මඟින් ජාලිය වික්‍රමසූරිය තැරැව්කාර සමාගමට දන්වා ඇති බව විමර්ශනවලදී හෙළි වී ඇත. එසේම තවත් ඊ-මේල් පණිවිඩයක් මඟින් කොමිස් මුදල් ලබා දුන් සමාගමට දන්වා ඇත්තේ එම මුදල් ලංකාවේ ‘සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ්’ හා ‘පී.පී. ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිිමිටඩ්’ යන සමාගම් වෙත ලබා දෙන ලෙසයි.

ජාලිය වික්‍රමසූරියගේ ඊ-මේල් පණිවිඩ අනුව අමෙරිකාවේ එම තැරැව්කාර සමාගම විසින් සියලු මුදල් ‘සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ්’ ආයතනයට හා ‘පී.පී ඉන්ටර්නැෂනල් ප්‍රයිවට් ලිිමිටඩ්’ සමාගම් දෙකට ලබා දී ඇත. සිලෝන් රෝයල් ටී ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය යනු ජාලිය වික්‍රමසූරියට අයත් සමාගමකි. එසේම පී.පී. ඉන්ටර්නැෂනල් සමාගම විසින් පවසා ඇත්තේද තම සමාගමට ලැබුණු මුදල් ජාලිය වික්‍රමසූරිය මහතා විසින් ආපසු ලබා ගත් බවයි.

මේ අනුව 2016 නොවැම්බර් 17 වෙනිදා කටුනායක ගුවන් තොටුපොළේදී ජාලිය අත්අඩංගුවට ගන්නා ලද අතර පසුදාම කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අධිකරණය ඔහුව රිමාන්ඩ් කෙළේය. පසුව තම ඇසේ පවතින රෝගී තත්ත්වයකට ප්‍රතිකාරයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාවට යාමට අවසර දෙන මෙන් කළ ඉල්ලීමක් පිළිගත් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය 2017 වසරේ දී ජාලිය වික්‍රමසූරියට විදේශගත වීම සඳහා අවසර ලබා දුන්නේය. ඇමරිකාවට පැන ගත් ඔහු යලි ආවේ නැත. පසුගිය වසරේ නොවැම්බර් මස 17 වෙනිදා ඔහු නැවත අධිකරණය හමුවේ පෙනී සිටිය යුතු බවට කොන්දේසියක් පනවා තිබුණ ද, ඔහු අධිකරණයේ පෙනී සිටියේ නැති බැවින් ඔහුට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කෙරිණ. දැන් ජාලිය ඉන්නේ විවෘත වරෙන්තු මතය. ඒ ලංකාවේ මහජන මුදල් රුපියල් පන්කෝටි තිස් එක් ලක්ෂයකට අධික මුදලක් ගෙඩිය පිටින් හොරකම් කිරීම හේතුවෙන් ය. 

ඇට්ලන්ටාවේ සිටින නීති ගරුක ශ්‍රී ලාංකිකයන් මෙවැනි හොරෙකු පිළිගන්නවා ද?

මේ සේයාරුවේ දැක්වෙන ජාලියගේ මලයා වූ ප්‍රසන්න වික්‍රමසූරියද ජාලියට දෙවැනි නොවේ. රාජපක්ෂ යුගයේ දී ඔහු හිටියේ එයාර්පෝර්ට් එවියේෂන් සමාගමේ සභාපති ලෙසය. ආණ්ඩුව පෙරලෙනවාත් සමග ඔහු ඇමරිකාවට පැන්නේ ගුවන් තොටේ දී රේගුව විසින් රාජ සන්තක කරන ලද රත්තරන් මැණික් වැනි වටිනා දෑ තැන්පත් කර තිබූ සේප්පුව සම්පූර්ණයෙන්ම හිස් කරගෙන ය. ඒවායේ වටිනාකම කොතෙක්දැයි තවම ගණන් හදා අහවර ද නැත. 

මෙවැනි හොරුන් ඇට්ලන්ටාවේ නීති ගරුක ශ්‍රී ලාංකිකයන් මහත්වරුන් ලෙස පිළිගන්නවාද?
(ලංකා ඊ නිව්ස් )