Language Switcher

V2025

හිටපු පොලිස්පති මහින්ද යළිත් කැඳවයි !

මිනී මැරුමක් සිදු වූ අවස්ථාවක එම මිනී මැරුමට අදාළ පරීක්ෂණ රහස් පොලිසිය මඟින් සිදුකරගෙන යද්දී පරීක්ෂණ ඉතිහාසයේ ප්‍රථම වරට එම පරීක්ෂණ අතරමඟ නවතා ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන්නේ කුමන අරමුණක් මතද යන්න හෙළිකර ගැනීම සඳහා හිටපු සන්ඩේ ලීඩර් කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා අබිරහස් ඝාතන පරීක්ෂණ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදුන් හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතා මෙරටට කැඳවීමට යයි.

මේ වන විට හිටපු පොලිස්පතිවරයා විදේශ රටක සිටී. 2009 වර්ෂයේ ජනවාරි 08 දින ලසන්ත වික්‍රමතුංග මාධ්‍යවේදියා ඝාතනයවීමෙන් පසු රහස් පොලිසියට එම පරීක්ෂණ කටයුතු එවකට සිටි පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා විසින් භාරදී තිබේ.

එම පරීක්ෂණ එසේ සිදුවෙමින් තිබියදී මාස කීපයකින් ජයන්ත වික්‍රමරත්න පොලිස්පතිවරයා විශ්‍රාමයෑමෙන් අනතුරුව මහින්ද බාලසූරිය මහතා පොලිස්පති තනතුරට පත්විය.

අබිරහස් ලෙස ඉතාමත් සැලසුම්සහගත ආකාරයෙන් සුවිශේෂී වූ ආයුධයක්ද මෙරටට ගෙන්වා ලසන්ත වික්‍රමතුංග මහතා එදින සිය කාර්යාලයට යමින් සිටියදී ඔහු පසු පස ලුහුබැඳ පැමිණි ඝාතකයන් පිරිසක් අත්තිඩිය මල්ලෙයාර් විද්‍යාලය අසලදී ඔහුගේ මෝටර් රථය නවත්වා ඉහත සඳහන් කළ සුවිශේෂී වූ ආයුධයෙන් ලසන්නත වික්‍රමතුංග මහතාට ඇන ඉතාම ම්ලේච්ඡ ලෙස ඔහු ඝාතනය කර තිබිණි.

මෙම ඝාතනයේ පරීක්ෂණ ගල්කිස්ස පොලිසිය සහ රහස් පොලිසිය මඟින් සිදුකරගෙන යන අතරතුර එම පරීක්ෂණ ඒ ආකාරයෙන් කොළඹ ත්‍රස්ත විමර්ශන ඒකකයට භාරදී තිබුණේ ලසන්ත වික්‍රමතුංග මහතාට කොටි ත්‍රස්තවාදීන්ගෙන් සුළු වශයෙන් හෝ මරණීය තර්ජනයක් තිබූ බවට කිසිදු තොරතුරක් නොමැති අවස්ථාවකදීය.

ඒ අනුව එතෙක් රහස් පොලිසිය සහ ගල්කිස්ස පොලිසිය මඟින් සිදුකළ පරීක්ෂණ අතරමඟ නවතාදමා ඒ ආකාරයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකයට සියලු පරීක්ෂණ සිදු කිරීමට භාර දී තිබුණේ ඉහත සඳහන් කළ පරිදි හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය මහතාය.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලසන්තගේ පරීක්ෂණ සම්බන්ධයෙන් කිසිදු බුද්ධි තොරතුරක් හෝ පරීක්ෂාවට ලක්කර නොගෙන ලසන්තට ත්‍රස්තවාදීන්ගෙන් තර්ජනයක් තිබූ බවට කිසිදු සොයා බැලීමක් හෝ නොකර නුවරඑළිය ප්‍රදේශයේ ජේසුදාසන් නැමැති ත්‍රස්තවාදීන් සමග ඔහු සම්බන්ධතාවයක් පැවැත්වූ බවට තොරතුරක් හෝ නොමැතිව තිබියදී එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඔහු සහ ලසන්ත ඝාතනයට අදාළ සම්බන්ධතාවය කුමක්ද යන්නවත් හෙළි නොකර පරීක්ෂණ සිදු කරන තෙක් යැයි පවසා ඔහු රිමාන්ඩ් භාරයට පත් කර තිබිණි. 
පසුව එම ජේසුදාසන් නමැති පුද්ගලයා කාලයකට පසු රිමාන්ඩ් බන්ධනාගාරය තුළදීම මියගොස් ඇත.

ඉන් අනතුරුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ලසන්ත ඝාතනය ත්‍රස්තවාදීන් විසින් සිදුකරන ලද්දක් බවට කිසියම් ආකාරයේ හෝ තොරතුරක් හෙළිකර නොගෙන ඉන් එහාට ලසන්ත ඝාතනය තවත් පාර්ශ්වයක් විසින් සිදු කළාද යන්න හෝ සොයා නොබලා පරීක්ෂණ කටයුතු සහ ලසන්ත ඝාතනය සිදුවූ අවස්ථාවේ ලබාගත් සාක්ෂි තොරතුරු ඇතුළු සියල්ල අතරමඟ නවතා පරීක්ෂණ පැත්තකට විසිකරදමා තිබිණි.

මෙම පරීක්ෂණ මේ ආකාරයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට භාරදෙන ලද්දේ ලසන්ත ඝාතනය කළ සැබෑ ඝාතකයන්ට ආරක්ෂාව ලබාදී එම පරීක්ෂණ යට ගසා ඉන් එම පරීක්ෂණ අවසන් කිරීමේ අරමුණ මත විය හැකි යැයි දැනට ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් යළි පරීක්ෂණ සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශ්වාස කරයි.

එසේ විශ්වාස කිරීමට හැකි තරම් තොරතුරු මීට වසර දෙකකට පමණ පෙර මේ සම්බන්ධයෙන් යළි පරීක්ෂණ ආරම්භ කර මේ දක්වා සොයාගෙන ඇති සහ අධිකරණයට වාර්තා කර ඇති කරුණුවලින්ද දැනට අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන්ගෙන් ලබාගත් තොරතුරු ද මත අනාවරණය වේ.

ඒ අනුව ලසන්ත ඝාතනයට සැක කළ හැකි සැකකරුවන් සහ තොරතුරු පෙනි පෙනී තිබියදී කිසිදු ආකාරයකින් එම ඝාතනයට සම්බන්ධතාවයක් නොදක්වන ත්‍රස්තවාදයක් සම්බන්ධ කර එම පරීක්ෂණ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාර දුන්නේ ඇයිද යන්න ගැන කරුණු හෙළිදරව් කර ගැනීම සඳහා සහ තවත් තොරතුරු ගණනාවක් හෙළිකර ගැනීමට හිටපු පොලිස්පති මහින්ද බාලසූරිය  මෙරටට ගෙන්වා ප්‍රකාශ ලබා ගැනීමට රහස් පොලිසිය අදහස් කරයි. 

ඒ අනුව අධිකරණයේ අවසරය ලබා ගැනීමට ද හැකි ඉක්මනින් එම කටයුතු සිදු කිරීමට තීරණය කර තිබේ.