මෙරට වනාන්තරවල වෙසෙන අලු මුගටියාගේ ගැහැණු සතා යොදා ගනිමින් පුපුරණ ද්‍රව්‍ය හෝ වෙඩි බෙහෙත් සොයා ගැනීමේ මුගටි බළකායක් ඇති කිරීමට කටයුතු සූදානම් කෙරෙමින් තිබෙන බව යුද හමුදා පර්යේෂණ හා විශ්‍ලේෂණ ඒකකයේ ප්‍රධානී මේජර් ජනරාල් රේණුක රොවෙල්ගේ පවසයි.
යුද හමුදා පර්යේෂණ හා විශ්‍ලේෂණ ඒකකය මෙසේ මුගටියන් පිළිබඳ අවධානය යොමුකර ඇත්තේ දශක තුනක් හෝ ඊට ආසන්න කාලයක් තිස්සේ උතුරු-නැගෙනහිර පැවැති යුද්ධයේ අවි ආයුධ සහ වෙඩි උණ්ඩ මෙන්ම වෙඩි බෙහෙත් භාවිතයෙන් පසු ඉතිරි වූ ද්‍රව්‍ය හෝ භාවිත කර ගත නොහැකිව පස් යට වළලා දමා සඟවා තිබිය හැකි බැවින් ඒවා සොයා ගැනීමේදී මහා මිනිස් බළකායක් යොදා ඒවා සෙවීමට ගතවන කාලයත්, මුදල සහ අවදානම සැලකිල්ලට ගෙනය.
උතුරු-නැගෙනහිර පැවැති යුද්ධයේ අවි ආයුධ සහ වෙඩි උණ්ඩ මෙන්ම වෙඩි බෙහෙත් තවත් දශක ගණනාවක් එලෙසම පොළොවේ පස් යට වැළලී තිබියදී යම් මතු දිනෙක කවුරුන් හෝ මේ මහ පොළොව භාවිතයට ගැනීමේදී පුපුරා ගොස් විනාශකාරී තත්ත්වයක් ඇතිවීමට තිබෙන ඉඩකඩද වැඩි වීමත් මෙම මුගටි බළකාය ඇති කිරීමට හේතුවූ බවද මේජර් ජෙනරාල්වරයා සඳහන් කරයි.
ඒ කටයුත්තේදී සත්ත්ව ලෝකයේ වඩාත් තියුණු ලෙස ඉවක් ඇති සතුන් අතරින් තෙවැනි ස්ථානයේ සිටින්නේ මුගටියා බවත්, වෙඩි බෙහෙත් හෝ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සම්බන්ධයෙන් පුරුදු පුහුණු කිරීමට වඩාත් පහසුවෙන්ම මුගටියාව යොදාගත හැකි වීම මෙන්ම සුනඛයා ශාරීරිකව යම් විශාලත්වයක් දරනා නිසාත්, ඌට සියුම් තැන්වලින් රිංගා යාමේ අපහසුතාවද තිබෙන නිසා මුගටියා මේ කාරියට වඩාත් උචිත බවද දෙයි.
මෙම මුගටි බළකාය සඳහා පුහුණුවීම් හා පර්යේෂණ කටයුතු ආරම්භ කර තිබෙන්නේ මීට වසර දෙකකට ඉහතදීය. පර්යේෂණවල අත්දුටු ප්‍රතිඵලවලට අනුව මෙම ද්‍රව්‍ය සොයාගැනීමේ වඩාත් තීක්ෂණ තත්ත්වයක් පෙන්නුම් කර තිබෙන්නේ අලු මුගටියාගේ ගැහැනු සතාය.
මෙම මුගටි බළකාය සඳහා අලු මුගටි දස දෙනකු යුද හමුදාව සතුව සිටින බවත් හෙතෙම වැඩිදුරටත් කියාසිටී.

