ජනාධිපති අපේක්ෂකයා ගැන ශෂීන්ද්‍රගෙන් ඉඟියක්

ජනාධිපති අපේක්ෂකයා ගැන ශෂීන්ද්‍රගෙන් ඉඟියක්

විවිධ පුද්ගලයන් තමන් ජනපති අපේක්ෂකකමට වඩාත් සුදුසු බව පැවැසුවද කුඩු වන මුට්ටි කිහිපය අතුරින් උඩට මතු වන මුට්ටිය කුමක්දැයි ජනතාවට අවබෝධ වන දිනය දුර අෑතක නොවන බව ඌව පළාත් සභාවේ හිටපු මහ ඇමති,  පළාත් සභා මන්ත්‍රි ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා 'මව්බිම' පුවත්පතට (31) පවසා ඇත.

මීළඟ ජනපති අපේක්ෂකයා ලෙස විවිධ පුද්ගලයන් කරළියට ගෙනාවත් සැබෑ ජනපති අපේක්ෂකයා වන්නේ අනපේක්ෂිත පුද්ගලයකු බවත් ඔහු කියා සිටියි.

මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් එන කණ්ඩායම ජයග්‍රහණය කිරීම නියත බැවින් ඊට සුදුසුම පුද්ගලයා අනපේක්ෂිත මොහොතකදී සැමටම දැනගත හැකි වනු ඇති බව ඔහු පවසයි.

ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා මේ බව පවසන්නේ, ඔහුගේ පියා වන චමල් රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා කල යුතු යයි ඒකාබද්ධයේ ප්‍රබලයින් දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරමින් සිටින මොහොතකය.

චමල් රාජපක්ෂ වැනි අයකු ඉදිරි ජනාධිපතිවරණයට ඒකාබද්ධ විපක්ෂයෙන් ඉදිරිපත් කල යුතු බව වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කර සිටියි.

'නැවතත් ජනාධිපති ධුරයට පත් වන්නේ රාජපක්ෂවරයෙකු පමණයි'

මේ අතර ඒකාබද්ධයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිළුම් අමුණූගම මහතා පවසන්නේ, නියත වශයෙන්ම නැවතත් ජනාධිපති ධුරයට පත් වන්නේ රාජපක්ෂ පවුලේ සමාජිකයෙකු පමණක් බවයි.

'පොදු ජන රළ' යන මැයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කරන ජනරැළි මාලාවේ තවත් ජනරැළියක් පෙරේදා (29) තෙල්දෙණියේදී පැවැති අතර එම රැළිය අමතමින් මන්ත්‍රීවරයා  මේ බව ප්‍රකාශ කළේය.

එම රැළියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන්ද සහභාගී වී සිටියහ.

''බල තණ්හාවෙන් පෙළෙන රාජපක්ෂ පවුලේ තිදෙනෙකුගේ සරණින් තොරව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් නැහැ ''- ඇමති හරින්

දිළුම් අමුණූගම මන්ත්‍රීතුමාගේ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා ඊයේ (30) පැවති මාධ්‍ය හමුවකදී මෙසේ පැවසිය.

"පොහොට්ටුවේ අයට රාජපක්ෂවරුන්ගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැහැ. ඒකත් හරියට ඔලු තුනේ මකරාගේ කතාව වගේ...

2020 ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට බැසිල්, චමල්, ගෝඨාභය කියන තුන්දෙනාගෙන් කෙනෙක් ඉදිරිපත් වනවා කියලා කියනවා. නමුත් අවසානයේදී තවත් අවුරුදු 05 කින් ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් එන්නේ නාමල් රාජපක්ෂ. එතකොට ඒ තවත් රාජපක්ෂ කෙනෙක්''

බල තණ්හාවෙන් පෙළෙන රාජපක්ෂ පවුලේ තිදෙනෙකුගේ සරණින් තොරව ඒකාබද්ධ විපක්ෂයට ගමනක් නොමැති බව හෙතෙම එහිදී වැඩිදුරටත් සිටියේය.

නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනයේ- කුසල් පෙරේරා

මේ අතර ප්‍රවීණ දේශපාලන විචාරකයකු මෙන්ම රාජපක්ෂ පවුලේ සමීපතම හිතවතකුව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කුසල් පෙරේරා මහතා පසුගියදා 'ලක්බිම' පුවත්පතේ සිය තීරු ලිපියක් මගින් පවසා ඇත්තේ,  රාජපක්ෂ පවුලේ අවසාන තීන්දු ගැනෙන්නේ මහින්ද රාජපක්ෂගේ අභිමතය අනුව පමණක් බවයි.

 ඒ අභිමතය අනුව නාමල්ගේ සුදුසුකම් මෝරා සම්පූර්ණ වන තෙක් මහින්දම දේශපාලනය කළ යුතු බව රාජපක්ෂ පවුලේ සමිපතමයකුව සිටි කුසල් පෙරේරා මහතාගේ අදහසයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න