පසුගිය 27 වන දින රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහරදුන් කුවේට් ජාතික යුවලට අදාළව නීතිය නියමාකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මැදිහත් වන ලෙස සමස්ථ ලංකා රේගු සේවා සංගමය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.
සමස්ථ ලංකා රේගු සේවා සංගමය වෙනුවෙන් එහි ලේකම් ජේ.ඒ. ගුණතිලක විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර වෙත ලිපියක් යොමුකරමින් මේ බව අවධාරණය කර ඇති අතර එහි පිටපත් ජනාධිපතිවරයා මෙන්ම රේගු අධ්යක්ෂ ජෙනරාල්වරිය වෙතද යොමුකර ඇත.
අදාළ ලිපියෙන් සමස්ථ ලංකා රේගු සේවා සංගමය පෙන්වාදී ඇත්තේ විවිධ රාජතාන්ත්‍රීක හා දේශපාලන බලපෑම හමුවේ මෙම සිද්ධිය සමතයකට පත්කරගන්නා ලෙස පහර කෑමට ලක්වූ නිලධාරීන්ට දෙපාර්තමේන්තුව පැත්තෙන් බලපෑම් එල්ල වෙමින් ඇති බවය.
ජුලි 27 උදෑසන 10.45 ට පමණ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිනෙමින් සිටි කුවේට් ජාතික යුවලක් විසින් රේගු නියාමක නිලධාරිනියක, සහකාර රේගු අධ්‍යක්ෂකවරයෙකු ඇතුළු රේගු නිලධාරීන් පස් දෙනෙකුට නිර්දය ලෙස පහර දී තිබුණේ ඔවුන් රැගෙන එමින් සිටි සුනඛයෙකුට අදාල නීතිමය අවශ්‍යතාවයන් සම්පූර්ණ කරන ලෙස දන්වා සිටීම නිසාය.
ශාක හා සත්ව නිරෝධායන පනත බලාත්මක කරන නිලධාරීන් ලෙස තම නිලධාරීන් සිය රාජකාරිය නිසිලෙස සිදුකර ඇති බවත් එම වගකීම නිසිලෙස ඉටුකිරීමම පහරකෑමට හේතුවූ බවත් පෙන්වාදෙන එම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කුවේට් යුවලගේ පහරදීම සැළකිය යුතුව ඇත්තේ රේගු නිලධාරීන්ට නොව අපේ රටේ ස්වෛරීත්වයට සිදුකළ පහරදීමක් බවය.
එබැවින් මොවුන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය මැදහත්වීම කරන ලෙස ඉල්ලා සිටින එම සංගමය එසේ නොවුනහොත් මෙය බලවත් වැරදි පූර්වාදර්ශයක් ලෙස ඉතිහාසයට එකතුවනු ඇති බවද සඳහන් කර ඇත.