ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළැයි චෝදනා ලැබ සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප‍්‍රධානියා ලෙස කටයුතු කළ ගාමිණි සෙනරත් මහතා ඇතුළු සිව් දෙනකුට ලබන 24 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද (01) සිතාසි නිකුත්කර ඇත.
මෙලෙස සිතාසි නිකුත් කරන ඇත්තේ ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ, නීල් බණ්ඩාර හපුහින්න සහ කේ. ලසන්ත බණඩාර නමැත්තන්ටය.
2014 පෙබරවාරී මස පළමු වැනිදාත් 2015 ජනවාරී මස 20 වැනිදාත් අතර කාලය තුල කොළඹදී පැමිණිල්ල නොදත් පිරිසක් සමඟ එක්ව ලිට්රෝ ගෑස් සමාගම කැන්විල් හෝල්ඩින්ස් පුද්ගලික සමාගමට එවූ මුදලින් රුපියල් මිලියන 500ක මුදලක් හෙලන්කෝ හෝටල් ඇන්ඞ් ස්පා පුද්ගලික සමාගමට යෙදවීම මඟින් අදාළ මුදල් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 24ක් යටතේ නීතීපතිවරයා චෝදනා නඟා ඇත. විත්තිකරුවන්ට එරෙහි චෝදනා සනාථ කිරීම සඳහා ලේඛන 93ක් සහ සාක්කිකරුවන් 63 දෙනෙකු කැඳවන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම්දී ඇති අතර මුදල් විශූද්ධිකරණ පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් විත්තිකරුවන් සිදුකොට ඇති බවද නීතීපතිවරයා අධිකරණයට දැනුම්දී තිබේ.
ඒ අනුව ත්‍රිපුදගල විශේෂ මහාධිකරණයේ ප‍්‍රථම විනිසුරු මඩුල්ල ලෙස පත් කරනු ලැබ සිටින කොළඹ මහාධිකරණයේ කටයුතු කරන සම්පත් විජේරත්න, සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ල විසින් මෙම සිතාසි නිකුත් කර ඇත.