මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණින් තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරු 23 දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සම එම පෙත්සම්කාර පාර්ශවය විසින්ම අභියාචනාධිකරණය හමුවේ ඉල්ලා අස්කර ගෙන ඇත.
ඒ අද (01) එම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.
එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන් අධිකරණය හමුවේ සඳහන් කර ඇත්තේ වගඋත්තරකාර පාර්ශවයේ නාගරික මන්ත‍්‍රීවරු බහුතරයක් දෙනා මේ වනවිටත් එම මන්ත‍්‍රී ධූරවල නොමැති බවත් එහෙයින් සංශෝධන පෙත්සමත් ගොනු කිරීම සඳහා දැනට තිබෙන පෙත්සම ඉල්ලා අස්කර ගන්නා බවය.
ඒ අනුව අභියාචනාධිකරණය එම පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබාදී ඇත.
මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප‍්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අතර මහරගම පදිංචි ඡන්ද දායකයකු වන එල්. චන්ද්‍රසේන පෙරේරා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස යතුරුපැදිය ලකුණෙන් ස්වාධීන කණ්ඩායම් අංක දෙක යටතේ මහරගම නගර සභාව සඳහා තේරී පත්වූ නාගරික මන්ත‍්‍රීවරුන් 23 දෙනා, මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය සහ එහි සාමාජිකයින් තිදෙනා මෙහි වගඋත්තරකරුවන් වශයෙන් නම් කර තිබිණ.
පෙත්සමේ සදහන් වන්නේ පෙත්සම්කරු මහරගම නගර සභා බල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන බවයි. පසුගිය පෙබරවාරි 10 දින පැවති පළාත් පාලන ඡන්ද විමසීමේ දී මහරගම නගර සභාව සඳහා යතුරුපැදිය ලකුණෙන් තරග කරන තේරී පත් වූ මන්ත‍්‍රීවරු විසිතුන්දෙනා එම නගර සභා බල ප‍්‍රදේශයෙන් බැහැර වෙනත් ප‍්‍රදේශවල පදිංචිකරුවන් බවය.
එය 2017 වසරේ ඡන්ද නාමලේඛනය පරීක්ෂා බැලීමේදී ඔවුන් දිවුලපිටිය, බඩල්ගම හා කොළඹ ආදී ප‍්‍රදේශවල පදිංචිකරුවන් තහවුරු වූ බව පෙත්සමේ සඳහන් වේ. එම මන්ත‍්‍රීවරුන්ගේ එම ක‍්‍රියාව පළාත් පාලන මැතිවරණ පනතේ පනතේ 8 වැනි වගන්තිය විධි විධාන වලට අනුව පටහැනි බවය.
ඒසේම ඔවුන්ට මහරගම නගර සභාවේ මන්ත‍්‍රී ධූර දැරීම සඳහා කිසිදු සුදුසු කමක් නොමැති බවද පෙත්සම්කරු කියා සිටී.
පෙත්සම්කරු වෙනුවෙන් නීතීඥ අමරවීර පණ්ඩිතගේ මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතීඥ ෆයිස් මුස්තාෆා මහතා පෙනී සිටියේය.