රටේ පුළුල් සංවර්ධන වැඩපිළිවෙළක් මේ වනවිට දියත් කර තිබෙන බව පෙන්වාදුන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි අරමුණවී තිබෙන්නේ පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා විශාල දියුණුවක් ඇති කිරීම බව ඊයේ (04) කිලිනොච්චියේදී පැවසීය.
යුද්ධයෙන් විනාශ වූ උතුර සංවර්ධනය කිරීම අමතක කර නැති බවත් උතුරු සංවර්ධන වැඩසටහන යටතේ උතුරේ ජන ජීවිතය නැවත නඟාසිටුවීම සඳහා පියවර රැසක් මේ වන විට ගෙන තිබෙන බවද අග්‍රාමාත්‍යවරයා පැවසීය.
අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළකර සිටියේ යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන පන්දහසක් වැය කරමින් ඉදිකරන ලද නේවාසිකාගාර දෙකක් සහ තවත් ගොඩනැගිලි කිහිපයක් විවෘත කිරීම නිමිත්තෙන් එම මණ්ඩපයේ පැවැති උත්සවය අමතමින්ය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙසේ ද කීය.
යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ රුපියල් මිලියන 5000 ක් වැය කරමින් ඉදිකරන ලද ගොඩනැගිලි කිහිපයක් අද විවෘත කරනු ලැබුවා.
යුද්ධයෙන් විනාශ වූ මේ ප්‍රදේශයේ පිහිටි විශ්වවිද්‍යාලය කෙරෙහි කාලයක් අපට අවධානය යොමු කිරීමට නොහැකි වුණත් අද අපි මේ විශ්වවිද්‍යාලය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාලයට අයත් කිලිනොච්චි මණ්ඩපයේ ඉංජිනේරු, කෘෂිකර්ම හා තාක්‍ෂණ පීඨ දියුණු කිරීම සඳහා උතුරු සංවර්ධන වැඩසටහන යටතේ මේ වන විට පියවර ගෙන තිබෙන බව කිව යුතුයි.
යුද්ධය නිසා උතුරේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විනාශ වුණා. එය නැවත ගොඩනැගිය යුතුයි. 2015 දී බලයට පැමිණි අපේ ආණ්ඩුවේ පළමු වසර දෙක, තුන ගත වුණේ සංහිදියාව ඇති කරමින් ප්‍රතිසංවිධාන කටයුතු සිදු කිරීම සඳහායි. නමුත් දැන් ආර්ථික සංවර්ධනය කෙරෙහි අපේ අවධානය යොමු කර තිබෙනවා.
පලාලි ගුවන් තොටුපොළ, කන්කසන්තුර වරාය මෙන්ම උතුරේ කර්මාන්ත ආරම්භ කරමින් පුළුල් සංවර්ධනයක් සිදු කිරීමට අප පියවරගෙන තිබෙනවා. උතුරේ මාර්ග පද්ධතිය දියුණු කිරීමත්, සංචාරක ව්‍යාපාරය හා කෘෂි කර්මාන්තය ඇතුළු අනෙකුත් ක්ෂේත්‍ර දියුණු කිරීම අපේ සංවර්ධන වැඩපිළිවෙළේ අරමුණයි.
මේ වන විට මහනුවර සිට හම්බන්තොට දක්වා පුළුල් සංවර්ධන වැඩසටහනක් දියත් කර තිබෙනවා. ඒ යටතේ කර්මාන්ත කලාප, සංචාරක කලාප ඇතුළු තවත් වැඩසටහන් ගණනාවක් ඊට ඇතුළත් වෙනවා. ඒ වගේම රටේ අනෙකුත් ප්‍රදේශ සංවර්ධන කිරීමට අපි පියවර ගෙන තිබෙනවා. මේ වැඩකටයුතු කරන අතර උතුර ද අප අමතක කර නැති බව කිව යුතුයි.
මේ සංවර්ධන වැඩ පිළිවෙළේ අවසානයේ අපේ ඉලක්කය වන්නේ පේදුරු තුඩුවේ සිට හම්බන්තොට දක්වා විශාල දියුණුවක් ඇති කිරීමයි.
අපි යුද්ධ කළා ඇති. දැන් කළ යුතුව තිබෙන්නේ සියලූ පාර්ශ්ව එක්වී සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමයි. එයින් කිලිනොච්චි මණ්ඩපයේ සිටින මේ පරපුරට පමණක් නොව ලංකාවේ සෑම ප්‍රදේශයකම සිටින තරුණ තරුණියන් සියලූ දෙනාටම යහපත් අනාගතයක් උදාකර ගත හැකියි.
එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජයදාස රාජපක්ෂ, පාර්ලිම්න්තු මන්ත්‍රිනී විජයකලා මහේස්වරන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා, පොලිස්පති පූජිත ජයසුන්දර යන මහත්ම මහත්මීන් ප්‍රමුඛ දේශපාලනඥයින් හා මහජන නියෝජිතයින්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ නිලධාරින්, යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ආචාර්යවරුන් ප්‍රමුඛ නිලධාරීන් රැසක් ද සහභාගීවී සිටියහ.

