ජනපති මෛත්‍රීපාල සිරිසේන අතින් අගෝස්තු 10 වැනිදා විවෘත කිරීමට නියමිතව පැවති කන්තලේ නගර ශාලාව කන්තලේ ප්‍රාදේශීය සභාවේ පාලක පොදුජන පෙරමුණේ මන්ත්‍රීන් පිරිසක් විසින් පසුගිය 03 වනදා පෙරවරුවේ හදිසියේම විවෘත කර තිබේ.
වාර්තා වන ආකාරයට 10 වැනිදාට අදාල විවෘත කිරීමේ උත්සවයේ සංවිධාන කටයුතු පිලිබඳව විශේෂ සභා රැස්වීමක් සභාපති සමන් ඒකනායක මහතා විසින් පසුගිය දිනක කැඳවා ඊට විවෘත කිරීමට අදාළ තීන්දු තීරණ ගෙන ඇත.
වත්මන් ජනාධිපතිවරයා කෝටි 6000 ක් වැය කොට පොළොන්නරුව සංවර්ධනය කළත් අවුරුදු තුන හමාරක කාලය තුල කන්තලේට එක ශත පහක් වැය නොකළ බවද එහිදී අවධාරණය කර ඇති බවද දැනගන්නට ඇත.
මෙහිදී විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පුළුවන්නම් ජනාධිපතිතුමා නැතිව නගර ශාලාව විවෘතකර පෙන්වන ලෙසට අභියෝග කර ඇති අතර එයට ප්‍රතිචාර දක්වමින් පොහොට්ටුවේ කණ්ඩායම පීත්ත පටියක් කඩෙන් ගෙන්වා ගෙන නගර ශාලාවේ ප්‍රධාන දොරටුව හරහා බැඳ කතුරකින් එය කපා අභියෝගයට ප්‍රතිචාර දක්වා නගර ශාලාව විවෘත කළ බව නිවේදනය කර ඇත.
එසේම ඊට පෙර පොදුජන පෙරමුණේ ප්‍රබලයකු අමතා ඇති බවත් එහිදී ලැබුණු උපදෙස් මත මෙය සිදුකර ඇති බවද දැනගන්නට ඇත.

