ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කොට ඇති බව වාර්තා වෙයි.
අදාළ ගිවිසුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන්ගෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති පැමිණිලි හේතුවෙන් මෙම කමිටුව පත් කර ඇති අතර විශ්‍රාමලත් ආර්ථීක විද්‍යා මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් එම කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කර ඇත.
එසේම ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය සිරිමෙවන් කොළඹගේ, කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අජිතා තෙන්නකෝන්, ස්වාධීන උපදේශක ආචාර්ය සනත් ජයනෙත්ති, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති ආර්.ඒ. ජයතිස්ස එම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස පත්කර ඇත.
ඒ අනුව ශ්‍රී ලංකා – සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම සම්බන්ධයෙන් විශේෂ අධ්‍යයනයක් සිදුකිරීමටත්, යෝජිත නව වෙළෙඳ ප්‍රතිපත්තියේ ප්‍රායෝගික බලපෑම් හා භාවිතයන් ද, ඉදිරියේ දී ශ්‍රී ලංකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිය සකස් කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිපත්තිමය මගපෙන්වීම සඳහා වූ නිර්දේශ ලබා ගැනීම මෙමගින් අපේක්ෂිතය.
එසේම මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ විවිධ සේවා සපයන අංශ කෙරෙහි මෙන්ම ශ්‍රී ලංකාවේ සාමාජිය හා ආර්ථීක තත්ත්වය සහ ජනතාවගේ ජීවන තත්ත්වය කෙරෙහි වන බලපෑම අධ්‍යයනය කිරීමත් කමිටුවේ විෂය පථයට අයත් වේ.
මෙම කමිටුව වෙත තම යෝජනා හා අදහස් ඉදිරිපත් කිරීම සඳහා සියලූම පාර්ශ්වයන් වෙත විවෘතව ඉඩ සලසා දී ඇති බවත් විශේෂඥ කමිටුවේ කාර්යභාරයෙහි ප්‍රගතිය වරින්වර අතුරු වාර්තා මගින් ජනාධිපතිවරයා වෙත ලබාදීමටත් අවසන් වාර්තාව මාස දෙකක් ඇතුළත භාරදීමටත් නියමිත බවද වාර්තා වෙයි.

