මනුස්සකම මණින මිම්ම ගැන කතානායක කියයි !

 මනුස්සකම මණින මිම්ම ගැන කතානායක කියයි !

තවමත් පරිසරය සමග සමීප ගනුදෙනුවක ‍යෙදෙමින් ගමේ විහාරස්ථානය ඇසුරෙන් මහා සංඝරත්නයේ අවවාද අනුශාසනා ලබමින් ජීවත්වන සරල ගැමියන් තුළ අපේකම මිනිස්කම සහ වැදගත්කම ඉතිරිවී තිබෙන බවද වැදගත්කම මිල මුදල් මත තීරණය වන දෙයක් නොවන බවද කථානායක කරු ජයසූරය මහතා පැවසීය.

මහා ධන සම්භාරයක් හම්බ නොකළත් තමන් උපයන දෙයින් කොටසක් ආගම දහම වෙනුවෙන් පූජා කරමින් එකිනෙකා සමග සහයෝගීතාවය පවත්වාගෙන යමින් රටට බරක් නොමැතිව ජීවත් වන ගැමි ජනතාව තවමත් දූෂණය නොවීමට හේතුව ඔවුන්ට ගමේ පන්සල සමග තිබෙන බැඳීම යයිද කී හෙතෙම වර්තමානයේ පොලීසිය, උසාවිය ඉටුකරන බොහෝ දේ එදා පන්සල  ඉටුකළ බව ද පැවසීය.

කරු ජයසූරිය මහතා ‍මේ බව පලකළේ 2018-08-12 දින පොල්පිතිගම අරලිය උයන තපෝවන විහාරස්ථානයේ දී ශ්‍රාස්ත්‍රපති පූජ්‍ය තපෝවනේ සුමේධ හිමිපාණන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ වයඹ පළාතේ උප ප්‍රධාන සංඝනායක ධුරය පිරිනැමීම නිමිත්තෙන් පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

තරුණ ප්‍රජාව අතර භාවනාව ප්‍රචලිත කිරීමට තපෝවනේ සුමේධ ස්වාමින් වහන්සේ තරුණ භික්ෂුවක ලෙස ඉටුකළ සේවය අතිශයින් වැදගත් බවද අද ලෝකය පුරාම භාවනාව පිළිදව ඇති වී තිබෙන උනන්දුව පුදුම සහගත බවද ඇමරිකාවේ හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්, හිටපු බ්‍රිතාන්‍ය අගාමාත්‍ය ටෝනි බ්ලෙයාර්, මෙන්ම ලෝකප්‍රකට හොලිවුඩ් නලුනිළියන් සහ ක්‍රීඩකයන් භාවනාවට යොමු වී ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

කථානායකවරයා මෙහි දී වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආතර් සී ක්ලාර්ක්  මැතිතුමා පළකල අනාවැකි සියල්ල පසුකාලීනව යතාර්ථයක් බවට පත් වුණු ලෙසම යම්කිසි දිනෙක බුද්ධ දර්ශණය ලෝකයේ ප්‍රධානතම ආගමික දර්ශණය බවට පත්වනු ඇති බවට පල කළ අනාවැකිය ද දිනෙන් දින සත්‍යය වෙමින් පවතින බවය.

මෙහි දී වැඩි දුරටත් අදහස් පළකල කරු ජයසූරිය මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා බුදු දහමට ඉතාමත් ආදර ගෞරවයක් දක්වනව‍නවා. එතුමා ලෝකයේ කොහේ ගියත් සාඩම්බරයන් පවසන්නේ මම බුදුන්ගේ දේශයේ පුත්‍රයෙකු කියායි.

කීර්තිමත් අවුන්සාන් සුකී නායිකාව සිය මන්දිරයේ වන්දනාව සදහා සර්වඥ ධාතුන් වහන්සේ නමක් තැන්පත්කරගෙන සිටිනවා. ඇයට එය ලබා දීමට මූලික වීමට හැකිවීම පිළිබදව මා සතුටට පත්වෙනවා.

පසුගිය දා වියට්නාමය ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකාවක් ඉල්ලා එරටට වැඩමකරවූවා.

භූතානයේ අගමැතිතුමන් සිය මන්දිරය ඉදිරිපිට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ ශාකාවක් රෝපනය කර වන්දනා කරනවා. මේ විදියට දිනෙන් දින බුදු දහ‍මේ යතාර්ථය ලෝකය අවබෝධ කරගනිමින් සිටින බව පැහැදිළියි.ලෝකය තුළ පැතිරී තිබෙන මෙම උනන්දුව නිසාම එම මහගු දායාදය ලෝකයට දීමේ  ප්‍රධානත්වය ගැනීමට පිරිසිදු තේරවාදී බුදුදහම ඇති රටක් ලෙස ශ්‍රී ලංකාවේ අපට හැකියි.

අපේ රටේ මිනිස්සු තරම් දානයට උනන්දු පිරිසක් ලෝකයේ කොහේවත් නැහැ. ලේ,ඇස්, වකුගඩු, මෙතරම් දන් දෙන ජාතියක් ලෝකයේ කොහෙවත් නැහැ. ඇතැම් රටවලට මෙය පුදුමයක්.

දැන් හිසනකස් දන් දීමක් ආරම්භ වී තිබෙනවා. පිළිකා රෝගය නිසා කෙස් කළඹ අහිමි වූ කාන්තාවන් වෙනුවෙන් සිය කෙස් කළඹ දන් දීමට විශාල උනන්දුවක් ඇති වී තිබෙනවා.

පිළිකා රෝගයෙන් මියගිය මාගේ දියණියගේ නාමයෙන් ආරම්භ කළ මෙම ව්‍යාපෘතියට ලැබෙන ජනතා සහාය අති විශිෂ්ඨයි. ශ්‍රී ලංකාව තුළ මෙම උතුම් ආකල්ප ආරක්ෂා කළේ ගමේ පන්සලයි, දහම්පාසලයි. දහම්පාසලට යන දරුවෙක් පවුලට හොද දරුවෙක් වෙනවා, සමාජයට හොද මිනිසෙක් වෙනවා, පසුව හොද දෙමාපියන් බවට පත්ව යහපත් පරපුරක් බිහිකරනු ඇති. එනිසා දහම්පාසල වෙත දරුවන් යොමුකරන ලෙස සියලු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා යැයිද කතානායකවරයා පැවසීය.

මෙම අවස්ථාවේ දී විගේෂ අනුශාසනාවක් සිදුකළ අමරපුර මහා සංඝ සභාවේ සභාපති ගංතුනේ අස්සජි මහානාහිමිපාණන් සදහන් කලේ කතානායක කරු ජයසූරිය මහතා වැනි ගිහියන් පන්සලෙන් අපේක්ෂා කරන ඉතාමත් උදාර සේවය සැළසීමට නම් භික්ෂු සමාජය දැණුමෙන්, විනයෙන්, ශික්ෂාකාමී බවින් උසස්  තත්වයකට පත්වියයුතු බවයි.

ඒ සදහා භික්ෂු සමාජයේ විනය ආරක්ෂා කිරීම උදෙසා දීර්ඝ කාලයක් පුරා වෙහෙසී සකස් කළ භික්ෂු කතිකාවත් පනත නීතිගත කළ යුතු බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ශ්‍රී කල්‍යාණ වංශ පාර්ශවයේ මහානායක දොඩම්පහල චන්ද්‍රසිරි ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂූන් වහන්සේ විශාල පිරිසක් මෙන්ම අනුරාධපුර මහා දිසාපති ආර්.එම් වන්නිනායක මහතා ඇතුළු විශාල දායක දායිකාවන් පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න