බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක, සභානායක, ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක, විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක යන තනතුරු පළාත් සභා පනතට පටහැනි බැවින් එම තනතුරු සඳහා මුදල් වෙන්කිරීම නීතිවිරෝධී බවත් ඒ සම්බන්ධයෙන් විගණනයක් කරන ලෙසත් ඉල්ලා විගණකාධිපතිට පැමිණිල්ලක් බාරදීමට ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්රී කණ්ඩායම ඊයේ (13) කටයුතු කර ඇත.
1987 අංක 42 දරණ පළාත් සභා පනතේ 23(1) වගන්තිය යටතේ පළාත් සභාවන් විගණනයට ලක් කිරීමේ බලය විගණකාධිපතිවරයාට ඇති බවත් පළාත් සභාවන් විගණනයට ලක් කිරීමේදී උක්ත ධූරයන් සඳහා බස්නාහිර පළාත් සභාවේ මෙන්ම ලංකාවේ සෙසු පළාත් සභා වලද කාර්යාල සහ වාහන වෙන් කරවා ගනිමින් අති විශාල වියදම් ප‍්‍රමාණයක් සිදු කරමින් පවතින තත්ත්වය විගණනයට ලක් කිරීම සිදු කරනු ලබන්නේ කුමන නෛතික නිර්ණායක මතද යන්න දැනුවත් වීමට අවශ්‍ය බවද එම පැමිණිල්ලේ සඳහන් කර ඇත.
තවද පළාත් සභා පනතේ මෙන්ම ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ඉහත ධූර කිසිදු ආකාරයක පිළිගැනීමකට ලක්වී නොමැති බවත් එසේ පිළීගැනීමකට ලක්වී නොමැති තනතුරු වෙනුවෙන් සිදු කරනු ලබන වියදම් බැලූ බැල්මට නීති විරෝධී බවද අදාළ පැමිණිල්ල හරහා පෙන්වාදී ඇත.
ජනතා විමුක්ති පෙරමුණේ බස්නාහිර පළාත් සභා මන්ත්රී කණ්ඩායම විගණකාධිපතිවරයා වෙත සිදුකළ පැමිණිල්ල පහත දැක්වේ.

