ජනතාවගෙන් බැනුම් අහමින් පැමිණි ගමන අවසන් - අගමැති

ජනතාවගෙන් බැනුම් අහමින් පැමිණි ගමන අවසන් - අගමැති

අවුරුදු තුනක් තිස්සේ ජනතාවගෙන් බැනුම් අහමින් කුණුහරුප අහගනිමින් ආ ගමන දැන් අවසන්. විදේශ හා පෞද්ගලික අංශවල දැවැන්ත ආයෝජන සමඟින් සංවර්ධිත ආර්ථිකයක් කරා යන ගමන දැන් ආරම්භ කර තිබෙනවා" යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

පසුගියදා කුරුණෑගලදී පැවති "විසල් කුරුණෑගල" ජලසම්පාදන හා සනීපාරක්ෂාව ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

 "විසල් කුරුණෑගල, ජලසම්පාදන හා සනීපාරක්ෂාව ව්‍යාපෘතියට පදනම් වූ කරුණු දෙකක් තිබෙනවා. එකක් තමයි වසර ගණනක් තිස්සේ අපි හඳුනාගෙන තිබෙන කුරුණෑගල ජනතාව මුහුණ දෙන ජල ගැටලුව විසඳීම. අනෙක් ප්‍රධානම කාරණය තමයි අපේ අලුත් ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය වෙන්නේ කුරුණෑගල. ඒ අනුව කුරුණෑගල ඉදිරියට ගෙනියන්න නම් ශීඝ්‍ර දියුණුවක් කරා ගෙනියන්න නම් විශාල යටිතල පහසුකම්වලට ඉඩ දෙන්න සිද්ධ වෙනවා.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අපි මේ රට භාරගනිද්දී රටේ ආර්ථික ප්‍රශ්න ගණනාවක් තිබුණා. ඒවට විසඳුම් විදියට තමයි අපි අලුත් ආර්ථික ක්‍රමයක් හඳුන්වා දෙමින් යන්නේ. අපි රට භාරගනිද්දී තිබුණු ලොකුම ගැටලුව තමයි ණය බර.

රටේ ආර්ථිකය ස්ථාවර කරලා ඒ ණය බර අඩුකරන්න සිද්ධ වුණා. දැන් අපේ ඉලක්කය 2020 වෙනකොට මේ රටේ අය - වැයෙන් සියයට අසූවකටත් වඩා තිබෙන ණය බර සියයට හැත්තෑවකට සීමා කිරීමයි. මේ වෙනකොට අපි රටේ ආදායම සියයට දහයකින් වැඩි කරලා තිබෙනවා.

දෙවැනි ගැටලුව තමයි විදේශ විනිමය හිඟකම. ඒ නිසා අපිට විදේශ ණය ගන්න සිද්ධ වුණා. ඒ ගැටලුව විසඳනකම් ඇත්ත වශයෙන්ම අපිට ඉදිරියට යන්න බැරි වුණා.

 තුන්වැනියට තිබුණේ රටේ ආදායම තිබුණට ඒ ආදායම් තත්ත්වය දියුණු කරන්න සිද්ධ වීම. මේ රටේ තරුණ තරුණියන්ට හොඳ රැකියා හොයලා දෙන්න වුණා. මෙන්න මේ කාරණා නිසා තමයි යුද්ධයෙන් විනාශ වුණු මේ රටේ අපි 2015දී අලුත් ආර්ථිකයක් හැදීම ආරම්භ කළේ.

 ඒ අලුත් ආර්ථිකය තමයි මුලින්ම රටේ තිබෙන කර්මාන්තශාලා දියුණු කිරීම, නව කර්මාන්තශාලා ඇති කිරීම, සංචාරක ව්‍යාපාරය වැඩි කිරීම, සංචාරක ආදායම වැඩි කිරීම, අලුත් තාක්ෂණය ගෙනැල්ලා ඒවායින් සේවා කර්මාන්ත විශාල ප්‍රමාණයක් ඇති කිරීම. මේ රටේ මෙතෙක් පැවැති කෘෂිකර්මය හා ධීවර කර්මාන්තය දියුණු කිරීම, මේක තමයි අලුත් ආර්ථිකය.

පසුගිය අවුරුදු තුන අමාරු එකක් වෙන්න පුළුවන්. ඒත් දැන් ආර්ථිකය ස්ථාවර කරලා අපිට ඉදිරියට යන්න පුළුවනි. 1977 දී ජේ.ආර්. ජයවර්ධන මහතා සමඟ බලයට ආවම මම යෝජනා කළා කොළඹ ආර්ථිකය ගම්පහට අරන් යන්න. ඒ අනුව අපි බියගම ආරම්භ කළා. කටුනායක ආරම්භ කළා.

අපි මේ දියුණුව ඊළඟට වයඹට යවන්නයි බලාපොරොත්තු වෙන්නේ. හලාවත, කුරුණෑගල හා මහනුවර මායිමේ දකුණු පැත්තේ අපි ඒ විශාල දියුණුව ඇති කරනවා. එහි මූලික පියවර ලෙස කලින් ඇමෙරිකන් හඬ තිබුණු ඉරණවිල ස්ථානයේ සංචාරක කලාපයක් ආරම්භ කර තිබෙනවා. මාවතගම හා බිංගිරිය ප්‍රදේශවල ප්‍රධාන පෙළේ කර්මාන්තපුර දෙකක වැඩ ආරම්භ කර තිබෙනවා. කුලියාපිටිය නගරයේ තවත් කර්මාන්තශාලා කිහිපයක් ආරම්භ කරමින් යනවා.

ඊළඟට තියෙන්නේ කුරුණෑගල නගරය. කුරුණෑගල කොහොමත් තියෙන්නේ අනුරාධපුරය හා දඹුල්ලට යන මාර්ගයේ. කුරුණෑගල ප්‍රධාන නගරයක් බවට පත් වෙනවා.

දැන් මට ඉතාම ස්ථිර විශ්වාසයෙන් කියන්න පුළුවන් අපිට ඉදිරියට යන්න පුළුවනි කියලා. මේ රට දියුණු රටක් බවට පත් කරන්න පුළුවනි. මම කුඩා කාලේ අපේ රට ආසියාවේ තිබුණු දියුණු රටක්. නමුත් පසුගිය තිස් අවුරුදු යුද්ධයේ විපාක විදියට අනෙක් රටවල් සියල්ලම දැන් අපිව පහුකරලා ඉස්සරහට ගිහින්. දැන් යුද්ධය ඉවරයි. ඒ වගේම ධෛර්යයක් අරගෙන මේ රට ආසියාවේ දියුණුම රටක් කරනවා කියන අධිෂ්ඨානයෙන් අපි කටයුතු කරනවා කියන පොරොන්දුව මම මෙම අවස්ථාවේ ලබාදෙනවා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න