විපක්ෂ නායක ධූරය ලබාගැනීම පිණිස ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට ඉඟි පළකළද පාර්ලිමේන්තුවේදි ස්වාධීන නොවී සිටීමට ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම තීරණය කර ඇතැයි 'අනිද්දා' පුවත්පත වාර්තා කර ඇත.
එයට හේතුව වී ඇත්තේ පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් බවට පත් වුවද ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන්ට විපක්ෂ නායක ධූරය ලබාගැනීම සඳහා නීතිමය පසුබිමක් නොමැති වීමය.
අගෝස්තු 14 වැනි අඟහරුවාදා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සහ ශ්‍රීලනිපයෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටින මන්ත්‍රීවරුන් අතර පැවති රැස්වීමකදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් විය යුතුද යන කාරණය පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත්කර තිබුණි.
අවාසිදායක බව ජී.එල්. කියලා !
එම රැස්වීමේදී අදහස් දක්වමින් මාහාචාර්ය ජී.එල්. පීරිස් ඇතුළු පිරිසක් විසින් පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරුන් වීම අවාසිදායක විය හැකි බව පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් 'අනිද්දා' පුවත්පත සමග අදහස් දක්වා ඇති ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයෙක් මෙසේ සඳහන් කර තිබේ.
''අපි ස්වාධීන වුණොත් ඊළඟට වෙන්න පුළුවන් අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර අහිමි වීම. ජී.එල්. පීරිස් මහාචාර්යතුමා පක්ෂනායක රැස්වීමේදී නීති තර්කයකුත් පෙන්වා දුන්නා. ඒ අනුව අපිම ඉල්ලා අස්වෙලා ස්වාධීන වුණාට පස්සේ අපේ මන්ත්‍රී ධූර අහිමි වුණොත් අපට අධිකරණයේ සටන් කරන්නත් ශක්තිමත් නීති තර්කයක් නැහැ.
එතකොට අපේ මන්ත්‍රී ධූර අහිමි කරලා අධිකරණයෙනුත් තීන්දුවක් ලැබෙයි. ඒකට හේතුව අපිට අසාධාරණ විදිහට පක්ෂයෙන් ඉවත් කරලා නෙවෙයි. අපිම ස්වාධීන වෙලා තමයි පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වෙන්නේ. එහෙම වුණොත් පාර්ලිමේන්තුවට අළුත් මන්ත්‍රීවරු හැටක් පමණ පත් කර ගන්න අවස්ථාවක් ශ්‍රීලපනිපයට එනවා. ඒකෙන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයාට සහාය දක්වන ප්‍රාදේශීය දේශපාලනඥයන් එක්වරම ජාතික දේශපාලනයට ගෙනැල්ලා ඔවුන්ට තැනක් ලබා දෙන්න ශ්‍රීලනිපයට අවස්ථාවක් ලැබෙනවා.
නිමල් සිරිපාලට දුන්න හැටි !
මේ සම්බන්ධයෙන් එම පුවත්පතට අදහස් දක්වා ඇති පාර්ලිමේන්තුවේ ඉහළ නිලයක් දරන පුද්ගලයකු සඳහන් කර ඇත්තේ, විපක්ෂ නායක ධූරයට අදාළ කාරණාව පිළිබඳව ලෝකයේ සම්ප්‍රදායයන් සහ ලංකාවේ නීතිමය පසුබිම පිළිබඳ කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රමුඛ පාර්ලිමේන්තුවේ නිලධාරීන් විසින් විශාල අධ්‍යයනයක් කර ඇති බවයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීන වුවද විපක්ෂ නායක ධූරය ලබාදිය හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයා කැමැත්ත පළ කළහොත් පමණකි.
මීට පෙර 2015 පාර්ලිමේන්තුවේදී නිමල් සිරිපාල ද සිල්වා මහතාට විපක්ෂ නායක ධූරය ලබා දුන්නේ එජානිසය කැමැත්ත පළ කිරීමෙන් පසුව බවද එම නිලධාරියා පෙන්වා දෙයි.
එම අවස්ථාවේදී එජානිසය නිල වශයෙන් විපක්ෂයේ සිටි අතර මන්ත්‍රීවරුන් පිරිසක් ආණ්ඩු පාර්ශවයට එක්ව අමාත්‍යධූර ලබාගැනීමත්, එයට එජානිස මහලේකම්වරයා එකඟතාව ලබාදීමත් සිදුවිය.

