ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය නියත වශයෙන්ම ජය ගන්නා බවත් අර්බුද මතින් වුවද පක්ෂය වෙනුවෙන් දහඩිය කඳුළු කැප කළ පාක්ෂිකයන්ගේ ගැටලු විසඳාදීමට වේගවත් වැඩසටහනක් දියත් කර ඇති බවත් එජාප මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව සඳහන්කර ඇත්තේ පසුගියදා සිරිකොත එජාප මූලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැති එජාප වෘත්තීය සමිති නායක හමුව අමතමින්ය.
එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය මතින් විජයග්‍රහණය කරා ගෙන යෑමේ අරමුණ ඇතිව එජාප මහ ලේකම්වරයාගේ නායකත්වයෙන් ක්‍රියාවට නංවා ඇති වැඩසටහන් මාලාවට සමගාමීව එය පවත්වා ඇති අතර තමා දිස්ත්‍රික් මට්ටමින් පාක්ෂිකයන්ගේ ගැටලු හඳුනා ගැනීම සඳහා විශේෂ වැඩසටහනක් දියත් කළ බවත් එහිදී ඇතැම් පාක්ෂිකයන් තම වේදනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී සාවධානව හා ඉවසීමෙන් ඒවාට සවන් දුන් ආකාරයත් සිහිපත් කරමින් සියලු පාක්ෂිකයන්ගේ ගැටලු එජාප කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කර වහා විසඳුම් ලබාදීමට මේ වන විටත් පියවර ගෙන ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර ඇත.
තවද යහපාලන ආණ්ඩුවෙන් ජනතාව අපේක්ෂා කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු ප්‍රමාද වීම පිළිබඳව අදහස් දැක්වූ අමාත්‍යවරයා ඇතැම් අවස්ථාවලදී නඩු කල් දැමීම ආදිය හේතුවෙන් යුක්තිය පසිඳලීමේ කටයුතු ප්‍රමාද වී ඇති බවත් ඊට විසඳුමක් ලෙස විශේෂ අධිකරණ පද්ධතියක් ස්ථාපිත කර ඇති හෙයින් නුදුරු අනාගතයේදී අපරාධකරුවන්ට නීතියෙන් දඬුවම් හිමිවනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා ඇත.

