Language Switcher

V2025

මාධ්‍ය සංදර්ශන නැතුව මේ ආණ්ඩුව නිහඬ සංවර්ධනයක් කළා - අගමැති

ගෙවුණු වසර තුන තුළ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ පව් ගෙවා දමා, රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ජනතාව වෙනුවෙන් පින් කිරීමට ආණ්ඩුවට හැකි වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  ඊයේ  (18) දෙනියාය පස්ගොඩදී පැවසීය.

වත්මන් ආණ්ඩුව නිහඬ සංවර්ධනයක් රට තුළ දියත් කළත් ඒවා රූපවාහිනිය හෝ රටේ අනෙකුත් ජනමාධ්‍ය ඔස්සේ සිදු කිරීමට නොගිය බව පැවසූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පසුගිය ආණ්ඩුවේ පව් ගෙවීමට සිදු නොවූයේ නම් මීටත් වඩා සංවර්ධනය වේගවත් කිරීමට හැකියාව තිබූ බවද  පැවසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මේ බව සඳහන් කළේ ආණ්ඩුවට වසර තුනක් සම්පූර්ණ වීම නිමිත්තෙන් අද දෙනියාය පස්ගොඩ ඌරුබොක්ක ක්‍රීඩාංගනයේදී පැවැති ජනතාවට ඉඩම් හිමිකම් ඔප්පු ලබාදීමේ උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මෙසේ ද කීය.

පසුගිය ආණ්ඩුවේ පාලන කාලය තුළ සිදු කළ සංවර්ධන වැඩ විශාල ප්‍රමාණයක් වෙනුවෙන් මුදල් ගෙවීමට සිදු වුණේ අපේ ආණ්ඩුවටයි. මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමා යටතේ පැවැති මහා මාර්ග අමාත්‍යංශයේ මාර්ග ඉදිකිරීම සඳහා අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් අපි මේ වන විට රුපියල් මිලියන හතලිස් දහසක් ගෙවා තිබෙනවා. ඇහැලියගොඩ සිට බලංගොඩ දක්වා ඉඩම් අත්පත් කර ගත්තද ඒ වෙනුවෙන් මුදල් ගෙවා තිබුණේ නැහැ. කුලියාපිටිය ප්‍රදේශයේ ඉඩම් අත්පත් කර ගත්තා. මේ දක්වා ඒවට වන්දි ගෙවලා නැහැ.

මාර්ග පුළුල් කිරීමේදී බලෙන් ඉඩම් අත්පත් කරගෙන ජනතාව පන්නා දැමුවත් ඔවුන්ට ඒ වෙනුවෙන් මුදල් ගෙවීමට සිදු වූයේ වත්මන් ආණ්ඩුවටයි. අඩි 100 යේ මාර්ග ඉදිකිරීම සඳහා ඉඩම් අත්පත් කර ගත් අය වෙනුවෙන් රුපියල් මිලියන 270 ක් ද මේ වන විට අපේ ආණ්ඩුව ගෙවා තිබෙනවා.

රාජපක්ෂලාගේ කෙරුවාව 

පසුගිය ආණ්ඩුව මාර්ග ඉදිකිරීම සඳහා දේශීය බැංකුවලින් රුපියල් මිලියන පනස් හතර දහසක් ලබා ගත්ත ද කොන්ත්‍රාත්කරුවන් වෙත මුදල් ගෙවා තිබුණේ නැහැ. ඒ මුදල් ද අපට ගෙවීමට සිදුව තිබෙනවා.

ස්වදේශ කටයුතු අමාත්‍යංශය යටතේ සිදු කළ වැඩ කටයුතු බොහෝමයක් වෙනුවෙන් මිලියන  23164 ක් අපේ ආණ්ඩුව ගෙවා තිබෙනවා. හම්බන්තොට වරාය පුළුල් කිරීම වෙනුවෙන් ලබාගෙන තිබූ මුළු මුදල රුපියල් මිලියන ලක්‍ෂ 3 ක මුදල ද පියවීමට අපේ ආණ්ඩුවට සිදුව තිබෙනවා.

මේ ආකාරයට පසුගිය ආණ්ඩුව යටතේ තවත් අමාත්‍යංශ ගණනාවක සිදුකළ සංවර්ධන වැඩකටයුතු වෙනුවෙන් මුදල් ගෙවීමට අපට සිදුවුණා. අප ඒ සියළු පව් ගෙවා දැම්මා. ඒ වගේ ම ඊට සමාන්තර රටේ සංවර්ධනය ඉදිරියට ගෙන ගොස් ජනතාව වෙනුවෙන් පින් රැස් කළා යැයි ද වික්‍රමසිංහ  පැවසීය.

මෙම අවස්ථාවට ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක, තරුණ කටයුතු ව්‍යාපෘති කළමණාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක  ප්‍රමුඛ පළාත් සභා සහ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්, ඉඩම් අමාත්‍යංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය කාර්යාල නිලධාරීන් ඇතුළු දේශපාලනඥයන් සහ රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගිවී සිටියහ.