ලක්ෂ 6 පුටු ගැන : කුසල්ගෙන් ඉසුරට ලිපියක්  

ලක්ෂ 6 පුටු ගැන : කුසල්ගෙන් ඉසුරට ලිපියක්  

ජනතාව වෙනුවෙන් සිතන්නට, ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට පුටුවේ වටිනාකම අදාල නැති බවපිළිගන්නා බවත් එවගේම ජනතාව වෙනුවෙන් සිතිය හැකි, ජනතාව වෙනුවෙන් තීන්දු ගත හැකි මහජන නියෝජිතයින් පත්කර ගැනීමට ජනතාවට නොහැකිවීම වෙනුවෙන් ඔබලාට දොස් නැගීමේ තේරුමක් නැති බවද පිළිගන්නා බව දේශපාලන විචාරක, මාධ්‍යවේදී කුසල් පෙරේරා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන්කර සිටින්නේ බස්නාහිර පළාත් සභාව සඳහා රුපියල් 6,40,000 බැගින් අසුන් 125 ක් මිලදී ගැනීම ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය දැරූ උත්සාහය සහ ඊට අදාළ සමාජ ප්‍රතිචාර පදනම් කරගෙන ප්‍රධාන අමාත්‍යවරයාට ලිපියක් යොමුකරමිනි.

පසුගිය සතිය හමාර තුල මාධ්‍යයෙහි සහ සමාජ ජාලයන්හි දිග හැරුණු බැන අඬ ගැසීම් දොස් පැවරීම් වලින් ඉවත්ව පළාත් සභා පුටු හා ජනතාව සම්බන්ධව ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික යෝජනා කිහිපයක් ඉදිරිපත් කරමින් කුසල් පෙරේරා විසින් බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වෙත යවනු ලැබූ එම ලිපිය පහත දැක්වේ. 

2018 අගෝස්තු 18 වන දින

ඉසුරු දේවප්‍රිය
ගරු මහ ඇමති
බස්නාහිර පළාත් සභාව
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. , This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ,
ශ්‍රාවස්ති මන්දීරය
32, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත
කොළඹ 07

ගරු මහ ඇමති තුමනි,

එකක් රුපියල් 6,40,000 ක් වන පුටු සමග බස්නාහිර පළාත් ඡන්දදායකයා සම්බන්ධ යෝජනා

පසුගිය සති දෙක තුනක බස්නාහිර පළාත් සභා මහජන නියෝජිතයින් සඳහා අලුතින් අසුන් පිළියෙල කිරීමේදී එක් අසුනක් රුපියල් 6,40,000 බැගින් අසුන් 125 ක් (රු.මිලියන 80) බෙල්ජියමෙන් ආනයනය කිරීමට ගනු ලැබූ තීන්දුවට එරෙහිව නැගුණු දෝසාරෝපණ හමුවේ බස්නාහිර පළාත් සභාවට ඒ සඳහා වත්කම් ඇතැයි ඔබ මාධ්‍යයට පවසා තිබිණ.   

ජනතාව වෙනුවෙන් සිතන්නට, ජනතාව වෙනුවෙන් තීන්දු ගැනීමට පුටුවේ වටිනාකම අදාල නැති බව පිළිගනිමි. එවගේම ජනතාව වෙනුවෙන් සිතිය හැකි, ජනතාව වෙනුවෙන් තීන්දු ගත හැකි මහජන නියෝජිතයින් පත්කර ගැනීමට ජනතාවට නොහැකිවීම වෙනුවෙන් ඔබලාට දොස් නැගීමේ තේරුමක් නැති බවද පිළිගනිමි. එබැවින් පසුගිය සතිය හමාර තුල මාධ්‍යයෙහි සහ සමාජ ජාලයන්හි දිග හැරුණු බැන අඬ ගැසීම් දොස් පැවරීම් වලින් ඉවත්ව පළාත් සභා පුටු හා ජනතාව සම්බන්ධව ක්‍රියාත්මක කළ හැකි ප්‍රායෝගික යෝජනා කිහිපයක් මෙසේ ඉදිරිපත් කරමි.  

01 අන්තර්ජාලය පිරික්සු විට ස්කැන්ඩිනේවියානු නවීන කාර්යාලීය තේක්ක පුටුවක් රුපියල් 1,28,000 ට මිලට ගත හැකි බැව් දුටිමි. ඒවා තොගයට ගන්නේ නම් සියයට 22 ක මිල අඩු කිරීමක්ද ඇත. එවිට එක පුටුවක මිල වනුයේ රුපියල් 99,840ක් පමණය. අවශ්‍ය නම් එවැනි ආකෘති යොදා ගනිමන් ඊට වඩා සුව පහසු පුටු ඊට වඩා අඩු මුදලකට මෙහි සාදවා ගත හැකිය. එබැවින් එක් පුටුවක උපරිම මිල රුපියල් ලක්ෂයකට (100,000) සීමා කර අවශ්‍ය සමුපූර්ණ පුටු සංඛ්‍යාව මෙරට නිෂ්පාදකයෙකු මාර්ගයෙන් නිමවා ගැනීමට වහා පියවර ගන්නා මෙන් මෙයින් යෝජනා කරමි.  
  
02 පළමු යෝජනාවට අනුව පුටු වෙනුවෙන් වැය කිරීමට නියමිත වූ මුදලින් රුපියල් මිලියන 67.5 ක් ජනතාවට ඉතිරි වනු ඇත. එම මුදල බස්නාහිර පළාතේ මහ නගර සභා බල ප්‍රදේශ 07 හි වීථි ආලෝකය පූර්ණ වශයෙන් සූර්ය බල ආලෝකයට වහා පරිවර්තනය කිරීමට වැය කරන මෙන් යෝජනා කරමි. එකවර කළ නොහැකි නම් කොළඹ, ජයවර්ධනපුර, දෙහිවල-ගල්කිස්ස වැනි ප්‍රමුඛතාවක් අනුව ක්‍රියාත්මක කරන මෙන් යෝජනා කරමි. එමගින් පෞද්ගලික සමාගම් වලින් අධි මිලට විදුලි බලය ගැනීමේ සීමා රහිත පුරුද්ද යම් පමණකින් හෝ අඩුකර ගත හැකි වනු ඇත. එය රටේම ජනතාවට සහනයක් වනු ඇත.

03 මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේදී හැම පියවරක්ම සහ එම පියවර වෙනුවෙන් වැය වන මුදල සඳහා එකඟතා ගිවිසුම් සම්පූර්ණ කිරීමට පෙර සියලු විස්තර ප්‍රසිද්ධියට පත් කරන මෙන්ද යෝජනා කරමි.

මෙම යෝජනා වහා පළාත් සභාව හමුවේ තබා, අවශ්‍ය තීන්දු තීරණ ගෙන වහා ක්‍රියාත්මකවීමට හැකි ලෙස මෙයින් ඉදිරිපත් කරනුයේ ඔබ හැමගේ පහසුව වෙනුවෙනි.

ස්තුතියි.
මෙයට විශ්වාසි

කුසල් පෙරේරා
කොළඹ දිස්ත්‍රික් ඡන්දදායක
මාධ්‍යවේදී / දේශපාලන විචාරක

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න