‘‘මිනිය ගෙයි තියෙද්දිත් කැන්රිච් (Kanrich) ණය වාරික එකතු කළා!“ - update

‘‘මිනිය ගෙයි තියෙද්දිත් කැන්රිච් (Kanrich) ණය වාරික එකතු කළා!“ - update

ගල්නෑව ජන උදාන ගම්මානයේ 50 දෙනෙකුට ආසන්න ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් පිරිසක් අද දිනයේ කැන්රිච් ෆිනෑන්ස් සමාගම විසින් සමථ මණ්ඩලය වෙත කැඳවා තිබූ අතර, එහිදී කැන්රිච් සමාගමේ ණය ආපසු අය කර ගැනීමේ අයථා භාවිතයන් සහ සිදුවීම් රැසක් ප්‍රසිද්ධියේ හෙළිදරව් විය.

එහිදී සමථ මණ්ඩලය ඉදිරියේ කැන්රිච් නියෝජිතයන්ගෙන් එක් කාන්තාවක් මෙසේ ඇසුවාය. ‘‘සර්ලට මතකද මම ගෙදර මිනිය තියාගෙන ඉද්දිත් ඉස්සරහ දොරෙන් ඇවිල්ල සර්ලා වාරිකය අරගෙන ගියා..?“

මෙම කාන්තාවන් අවධාරණය කළේ තමන් ණය නොගෙවන්නේ යැයි චෝදනා කිරීමට කැන්රිච් සමාගමට අයිතියක් නැති බවට ය.

අපි තමුන්ව පස්දාල වහනවා!

‘‘අපේ සාරය මේ සමාගම්වලින් උරා බීල තියෙන්නෙ. අපේ දරුවා ශිෂ්‍යත්වෙ විභාගෙට යන්න ඉද්දි, ශිෂ්‍යත්වෙ හෙටයි කියල කැන්රිච් එකේ මහත්තයා ගෙදරට ඇවිත් අපිට කිව්වා, රජයෙන් කපපු ළිඳට තමුසෙලා පැන්නා, අපි දැන් පස් දාල වහනවා කියලා“. යනුවෙන් සමථ මණ්ඩලය ඉදිරියේ තවත් කාන්තාවක් තමන් මුහුණ දුන් අත්දැකීමක් කියා සිටියාය.

මෙහිදී ‘රජයෙන් කපපු ළිඳ‘ යනුවෙන් කැන්රිච් සමාගමේ නියෝජිතයා අදහස් කර තිබෙන්නේ රජයෙන් ක්‍රියාත්මක කරන ක්ෂුද්‍ර මූල්‍ය ණය සහන වැඩපිළිවෙළ යටතේ අය කර ගත නොහැකි රුපියල් ලක්ෂය දක්වා ණය මුදල් සමාගම්වලට ගෙවීමේ වැඩසටහනයි. රජයේ සහන වැඩපිළිවෙළ හේතුවෙන් මෙම ගම්මුන් තමන් දැනට ගෙවාගෙන යන ණයට සහනයක් අපේක්ෂා කරමින් ණය ගෙවීම් පැහැර හරින බව ක්ෂුද්‍ර මුල්‍ය නියෝජිතයාගේ අදහස වී තිබේ.

ශිෂ්‍යත්ව විභාගයට යාමට සූදානමින් ගෙතුළ පාඩම් කරමින් සිටි දරුවා මේ අසා බියට පත්ව තිබේ. ඔහු පසුදින උදෑසන විභාගයට පිටත්ව යාමට පෙර සිය මවට කියා ඇත්තේ ‘‘අනේ අම්මෙ පරිස්සමෙන් ඉන්න. මම විභාගෙට ගිහින් එද්දි අම්මවයි නංගිවයි මරල ළිඳට දාල පස්දාල වහල තියෙයි..“යනුවෙනි.

නිවෙස්වල සාමාජිකයන් බියෙන් ත්‍රස්ත කරමින් ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතයන් විසින් ගෙන යන වාරික එකතු කිරීමේ අමානුෂික භාවිතයන් නිසා ඇති වී තිබෙන සමාජ උවදුර සඳහා මෙම සිද්ධිය තවත් උදාහරණයකි. ‘‘ණය එකතු කරන මහත්තයා ඇවිත් එහෙම කෑ ගහද්දි මගෙ දරුවගෙ මානසිකත්වය ගැන හිතුවෙ නෑ. ඒ දරුවා ශිෂ්‍යත්වෙට ගියෙත් ඒ මානසිකත්වයෙන්. අපේ ගෙවල්වල උසස් පෙළ කරන දරුවො ගොඩකට සිද්ධ වුණෙත් මේ දේමයි‘ යනුවෙන් එම කාන්තාව සමථ මණ්ඩලය හමුවේ අද දින කියා සිටියාය.

ඉස්සරහට කිසිම ණයක් ගන්න බැරි තත්වෙට පත් කරනවා!

‘‘අපි කොහොම හරි ගත්ත ණය ගෙවනව මහත්තයෝ.. අපිට ආයෙත් නම් ණය එපා! මේ අවුරුදු 6 ක් තිස්සෙ ක්ෂුද්‍ර මූල්‍ය අරන් අපි වැටිච්ච කරදරේ හොඳටම ඇති!“ යනුවෙන් ද සමථ මණ්ඩලය ඉදිරියේ එක් කාන්තාවක් කියා සිටියාය.

සති තුනක් වාරික නොගෙවීමට අසමත් වූ කාන්තාවන් 16 දෙනෙක්, ඔවුන්ගේ ස්වාමි පුරුෂයන් සහ ඇපකරුවන් යන සියලු දෙනා අද උදෑසන කැඳවා තිබුණේ තඹුත්තේගම මොනරගල විහාරස්ථායේ පැවති සමථ මණ්ඩල රැස්වීම වෙත ය.

එහිදී ගම්වාසීන් විසින් කළ එකම ඉල්ලීම වී තිබුණේ තමන් කිසිම ආකාරයකින් ණය පැහැර හැරීමට අදහස් නොකරන හෙයින් හැකි අයුරින් ණය ගෙවාගෙන යාමට තමන්ට පහසුකම් සපයන ලෙසයි.

දිගින් දිගටම පෙරැත්ත කිරීමෙන් පසුව සහ, සමථ මණ්ඩලයේ සාමාජිකයන්ගේ ද ඉල්ලීම පරිදි අවසානයේ මෙම ගම්මුන්ට සිය ඉල්ලීම ලිඛිතව ලබාදෙන ලෙස කැන්රිච් නියෝජිතයන් පවසා තිබේ. ඒ අනුව සිය දුක් ගැනවිල්ල සහ ගෙවීමේ පහසුකමක් ඉල්ලා සිටින ලිපියක් ඔවුන් විසින් දී ඇති අතර නියෝජිතයන් පැවසුවේ, ‘‘අපි මේක හෙඩ් ඔෆිස් එකට දානවා. එහෙන් මේකට එකඟ වුණොත් විතරයි මේක කරන්නෙ. නැත්නම් ඔක්කොම උසාවි ගෙනියනවා“ යනුවෙනි.

එසේම, සති 3 ක් ණය නොගෙවීම නිසා දැනටමත් මහ බැංකුවේ ණය තොරතුරු කාර්යාංශය (CRIB) තුළ කැන්රිච් සමාගම විසින් මෙම කණ්ඩායම අසාධු ලේඛනගතකර ඇති බව ද මෙහිදී හෙළි විය. ‘‘අපි කොහොමටත් සියලුම දෙනා දැනටමත් ක්‍රිබ් එකට දාලයි තියෙන්නෙ. අපි ඉස්සරහට කිසිම තැනකින් ණයක් ගන්න බැරි වෙන විදිහට වැඩ කරනවා‘‘යනුවෙන් ඔවුන් තර්ජනාත්මක ව පවසා තිබේ.

මළත් කමක් නෑ සල්ලි ගෙවපන්!

අද දින සමථ මණ්ඩලයේදී එක් කාන්තාවක් එම නියෝජිතයන්ගෙන් ඇසූ ප්‍රශ්නය මෙබඳු ය. ‘‘අනේ සර්... සර්ලගෙ ව්‍යවස්ථාවෙ තියෙන්නෙ අපෙන් ගන්න හැටි විතරමද..? අපිට කරදරයක් වුණොත් අපිට දෙන්න පුළුවන් සහනයක් ඔය ව්‍යස්ථාවෙ නැද්ද?“ යනුවෙනි.

එවිට ක්ෂුද්‍ර මූල්‍ය නියෝජිතයන් පවසා තිබෙන්නේ, ‘‘එහෙම කිසිම දෙයක් අපේ ව්‍යස්ථාවෙ නෑ“ යනුවෙනි.‘‘එතකොට අපි ජීවිතෙන් වන්දි ගෙවන්නද?“ යනුවෙන් එම කාන්තාව තවදුරටත් ඇසූ විට එම නියෝජිතයා පවසා ඇත්තේ, ‘‘ඒක අපිට අදාළ නෑ“ යනුවෙනි.
‘‘අපේ ජීවිත එයාලට වටින්නෙ නෑ.. එයාලට ඕනෙ සල්ලි විතරයි. එයාලගෙ කෘෘරත්වය ප්‍රසිද්ධියෙම පෙන්නුවා“ යනුවෙන් එම කාන්තාව ලංකා නිව්ස් වෙබ් සමග ප්‍රකාශ කළාය.

LNW  මාධ්‍ය ජාලය මේ වන විට කැන්රිච් සමාගම ගැටළුව සම්බන්ධයෙන් දක්වන ප්‍රතිචාරය කුමක්දැයි විමසිල්ලෙන් සිටින අතර මෙම අර්බුදයේ සත්‍ය මුහුණුවර සහ බිම් මට්ටමේ යථාර්ථය පාඨකයන් වෙත ගෙන එමින් සිය මාධ්‍ය මෙහෙවර තවදුරටත් ඉටුකරමින් සිටියි.

නවතම තොරතුරු බලාපොරොත්තු වන්න...

විශේෂ ස්තූතිය - නීතීඥ රදිකා ගුණරත්න - නෙළුම්යාය පදනම
(LNW )

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න