ගුවන් විදුලි නාට්‍ය ගැන බොරු කී :  අන්තවාදී  කේවට්ටයන් අනාථයි ! 

ගුවන් විදුලි නාට්‍ය ගැන බොරු කී :  අන්තවාදී  කේවට්ටයන් අනාථයි ! 

සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් විකාශය කළ ගුවන් විදුලි නාට්‍ය සම්බන්ධව අසත්‍ය ප්‍රචාර ගෙනයාම සම්බන්ධව එම කාර්යාංශය විසින් නිවේදනයක් නිකුත් කර ඇත.

තම කාර්යාංශය  මෙම නාට්‍ය පිටපත් ගැඹුරු අධ්‍යයනයකින් පසුව විකාශන අනුග්‍රහය සඳහා සම්බන්ධවූ බවත් බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බවත් එම නිවේදනයේ සඳහන්ව ඇත.

අදාළ සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.

මාධ්‍ය නිවේදනය
20.08.2018, කොළඹදී.
සංහිඳියා කාර්යාංශයේ අනුග්‍රහයෙන් ප්‍රචාරය කරන ගුවන්විදුලි නාට්‍ය මාලාව
ගැන පැහැදිලි කිරීමයි

හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා කුමාරතුංග මැතිණියගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වන ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය (ONUR) බුදු දහමට නිගා කළා යැයි ප්‍රචාරය වන සාවද්‍ය පුවත් වාර්තාවන් සහ නොදැනුවත්කමින් සිදුකර ඇති ප්‍රකාශ ගැන අපගේ අවධානය යොමුව ඇත.
 

සම්මානනීය ගුවන්විදුලි නාට්‍ය අධ්‍යක්ෂ මාලක දේවප්‍රිය විසින් රචනා කර අධ්‍යක්ෂණය කර ඇති නාට්‍ය මාලාවක් “රේඩියෝ කථා” නමින් රාජ්‍ය ගුවන්විදුලි සේවාවක් වන ITN FM (FM 93.5 / 93.7) ඔස්සේ අගෝස්තු 03 දා සිට සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 9 සිට 10 තෙක් විකාශය වෙමින් පවතී.

ගුණ-ධර්ම මෙන්ම අධ්‍යාත්මික වර්ධනයේ පිරිහීම තුලින් ලාංකීය සමාජයේ ඇතිවී තිබෙන ගැටළු පිළිබද විචාරශීලීව හා ප්‍රායෝගිකව මෙම නාට්‍ය කතිකාවකට භාජනය කරයි. මෙම නාට්‍ය  පිටපත් ගැඹුරින් අධ්‍යනය කිරීමෙන් පසුව අප කාර්යාංශය මගින් මෙය විකාශයසඳහා අනුග්‍රහය දැක්වීමට තීරණය කරන ලදී.
 බුදු දහමේ හරයන් සහ වටිනාකම් විකෘති වන ආකාරයේ කිසිදු ක්‍රියාවක් අනුමත කිරීමට තරම් අප වගකිව යුතු රාජ්‍ය ආයතනයක් ලෙසින් කිසිවිටෙක අමනෝඥ නොවන බව තරයේ අවධාරණය කරනු කැමැත්තෙමු.

අප සංහිදියා කාර්යාංශය, අතිගරු ජනාධිපතිතුමා සහ ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රමුඛ රජයේ අනුග්‍රහය යටතේ ප්‍රජාතන්ත්‍රවාදය, සංවර්ධනය, ජාතික එකමුතුව ගොඩ නගමින් බුදු දහමට ව්‍යවස්ථානුකූලව හිමි ප්‍රමුඛස්ථානය ලබා දෙමින් සියලු ජනකොටස් හා ආගම්වලට ගරු කරන, එක්සත් ශ්‍රී ලංකාවක් ගොඩනගන මෙවන් අවස්ථාවක, එක්තරා මාධ්‍ය ආයතනයක් විසින් තම පෞද්ගලික දේශපාලන සම්බන්ධතා සහ පුද්ගලික න්‍යායපත්‍රයන් අනුව මෙලෙස සාවද්‍ය පුවත් ප්‍රචාරය කිරීමත්, පිළිගත් ජනමාධ්‍ය සදාචාර අනුව අප කාර්යාංශයෙන් පැහැදිලි කිරීමක් හෝ නොවිමසා ගෞරවනීය ස්වාමීන්වහන්සේලා ඇතුළු පොදු මහජනතාව නොමග යැවීමටත් ගන්නා උත්සාහය තරයේ හෙලා දකිමු.

සම්මානනීය නාට්‍ය අධ්‍යක්ෂවරයෙකු විසින් රචනා කර අධ්‍යක්ෂණය කර, ශ්‍රී ලංකාවේ ප්‍රවීණ කලාකරුවන් රැසකගේ දායකත්වයෙන් ප්‍රචාරය වන මෙම නාට්‍ය මාලවට සවන් දී ඒ පිලිබදව සාමකාමී, හරවත් සංවාදයකට කැමති ඕනෑම කෙනෙකු හා සම්බන්ධවීමට අප කාර්යාංශය සූදානම් බව ද මෙහිදී සදහන් කරනු කැමැත්තෙමු.

මෙම ගුවන් විදුලි නාට්‍ය මාලාවේ කථාංගවල නාමයන් පමණක් රූපිකව ගෙන බැලූ විට ඊට ශබ්දාර්ථයෙන් සමාන වෙනත් යෙදුම් සමග සමපාත බවක් කිසිවෙකුට හෝ හැඟෙන්නේ නම් ඒ පිළිබද අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර, විවාදාත්මක කථාංග නාමයන් කිහිපය වෙනස් කිරීමට තීරණය කළෙමු.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න