වසන්ත කරන්නාගොඩ - රවීන්ද්‍ර විජේගුණරත්න :  නීතියට යටත් නැද්ද?

වසන්ත කරන්නාගොඩ - රවීන්ද්‍ර විජේගුණරත්න :  නීතියට යටත් නැද්ද?

හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩට සහ වර්තමානයේ ත්‍රිවිධ හමුදාවේ ඉහළම නිලය වන මාණ්ඩලික ප්‍රධානී තනතුර දරමින් සිටින අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න හමුදා  ඉතිහාසයේ කළු පැල්ලමක් වන් මිනිස් පැහැරගෙන යාමක සහ ඉන්පසු වදදී ඝාතනය කිරීම සහ ඔවුන්ගෙ පවුල්වල සාමාජිකයන්ගෙන් කප්පම් ගැනීමේ සිද්ධියක ප්‍රධාන චූදිතයෝ ය.

එක්කෙනෙකු මේ සිද්ධිය සම්පූරණයෙන්ම මුල සිට අගට තමා නාවික හමුදාවේ ඉහළම නිලයේ සිටින විට දැනසිටි අතර, දෙවැන්නා මේ පිළිබඳ සිදුවන පොලිස් පරීක්ෂණවලට තමා නාවික හමුදාවේ ඉහළම නිලය දරන විට නොයෙක් ක්‍රමවලින් අවහිර කළ පුද්ගලයෙක් ය.

ත්‍රිවිධ හමුදාව යනු රජයේම ආයතනයන් ය. එනිසාම ඔවුන් රටේ නීතියට ඉහළින් සිටින පිරිසක් නොවන අතර එනිසාම ඔවුන්ට විරුද්ධව මොනයම් හෝ අනීතික වැඩක් පිළිබඳ චෝදනාවක් තිබෙන්නේ නම් එයට අධිකරණ ක්‍රියාමාර්ග තේරිය යුතුය. රටේ පොදු නීතියට යටත්ව කටයුතු කළ යුතුය. එහෙත් දැන් සිද්ධවන්නේ වෙන දෙයක් ය. තෝරු මෝරුන් නිදැල්ලේ පිහිනමින් සිටින විට හාල්මැස්සන් පමණක් නීතියේ දැලට හසුවෙමින්, හසුකරගනිමින් සිටින්නේය. නීතියේ සාධාරණත්වය සහ පාලනය ස්ථාපිත කරන්න පැමිණි වර්තමාන ජනාධිපතිවරයාගේ රණවිරු ආදරය මොවුන් නීතියේ දැලට හසුකරගන්නට පරීක්ෂණ අංශවලට තිබෙන ඉඩ වසා දමා ඇත. නීතිය මෙලෙස වෙනස් විදිහට ක්‍රියාත්මක වන්නේ දැයි යන ප්‍රශ්නය අප දැන් අමතක කර ඇත. අපි දැන් ලොක්කන්ට නීතියෙන් පැනයාමට ඉස්තාලය ඇර දමා වෙන සද්ධීන් ගැන කතාකරන්නෙමු. මේ සිද්ධියත් එවැනි එකකි.

නේවි සම්පත්ලා

පසුගිය අගෝස්තු 14 වැනි දා, සෑහෙන කාලයක් අද්මිරාල් විජේගුණරත්නගේ පිහිටෙන් නීතියෙන් සැඟව සිටි, ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය. ඒ වෙනත් නමකින් සැඟව සිටින විටය. ඒ, ඔහු නාවික හමුදා නිලධාරීන් විසින් පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට වූ සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසය. මීට අමතරව මේ පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්‍රී නඩරාජා රවිරාජ් ඝාතනයේ 4 වැනි සැකකරුය. එම නඩුවේදී චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි ඇතුළු සැකකරුවෝ අධිකරණයෙන් සියළු චෝදනාවලින් නිදහස ලබන්නෝය.

අන්තිමට නඩරාජා රවිරාජ් ඝාතනය කළ කෙනෙක් නැත. එහෙත් මේ ඝාතනයට ආධාර අනුබල සැපයූ (ඒ සඳහා සාක්ෂි ඕනෑතරම් තිබෙන) ප්‍රධාන පුද්ගලයෙකි මේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි. අර නඩුවෙන් නිදහස ලැබුවත් බුදුදහමට අනුවදෝ දැන් ඔහු තවත් සිද්ධියක ප්‍රධාන චූදිතයෙක්ය. සහමරවිට ඉදිරියේදී තවත් සිද්ධීන්වලට මේ නම ඈඳෙන්නට පුළුවන්ය. දැන් “දිවයින” වැනි පත්තර කියන්නේ මේ පුද්ගලයාද නේවි සම්පත් ලෙස නම් කරත් ඔහු නිවැරදි නේවි සම්පත් නොවන බවය. නිවැරදි නේවි සම්පත් වසන්ත කරන්නාගොඩගේ හිටපු ශරීර ආරක්ෂකයා වූ සම්පත් මුණසිංහ බවයි. ඔහුද නඩරාජා රවිරාජ් සිද්ධියේ මෙන්ම පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේද සැකකරුවෙක් ය. එහෙත් පරීක්ෂණ කණ්ඩායම් කියන්නේ නඩරාජා රවිරාජ් සිද්ධියට අප මේ දෙවනුව සඳහක් කළ නේවි සම්පත් එනම් සම්පත් මුණසිංහ සම්බන්ධ නැති බවය.

දැන් දිවයින පත්තරයෙන් රණවිරුවන්ගේ ගුණ ගයන මාධ්‍යවේදීන් කියන්නේ මේ සිද්ධියට පසුගිය රජය කාලයේදී සැකකරුවෙකු වුණේ සම්පත් මුණසිංහ නැමැත්තා වුණත් යහපාලනය පැමිණි පසු එම පරීක්ෂණයේදීම නේවි සම්පත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි වන බවය. මේ ලිවීම විසින් නීතියේ අසාධාරණය අගයන මිනිසුන් මුලා කරන අතරම තවමත් රණවිරු වන්දනාවේ යන මිනිසුන් මේ පරීක්ෂණවලට විරුද්ධව උසිගැන්වීමද කරන්නේය. එනිසා මෙතැන තිබෙන ඇත්ත කතාකළ යුතුය. මේ ලියුම්කරුට හිතෙන්නේ දිවයින මේ ලියන්නේ හිටපු නාවිකහමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ අදහස බවය. නේවි සම්පත් අවුල සෑදීමේ වැඩි වාසිය තිබෙන්නේ ඔහුටය. ඒ මන්ද විමසා බලමු.

පොලිස් මූලස්ථානයේ අපරාධ කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති වසන්න සේනානායක වෙත 2009 මැයි 28 වැනි දින සම්පත් මුණසිංහ පිළිබඳව මුලින්ම ලිඛිතව පැමිණිල්ලක් කරන්නේ වසන්ත කරන්නාගොඩය. ඒ වාර්තාවෙන ලෙස සම්පත් මුණසිංහ සමග තිබුණු පුද්ගලික කෝන්තරයක් පිරිමසා ගැනීමටය. ඒ වන විටද මේ පැහැරගෙන යාම් කප්පම් ගැනීම් පසුව මරා දැමීම් මේ හමුදා ලොක්කා දැන සිට ඇත. එහෙත් ඔහු මොනයම් හෝ හේතුවකට මේ දේවල් සඟවාගෙන ඒවාට අනුබලය පිරිනමා ඇත. මේ සිදුවීම් වැලට සම්බන්ධ බොහෝ දෙනෙකු සඟවා සම්පත් මුණසිංහ පමණක් පෝරකයට යැවීම එකළ වසන්ත කරන්නාගොඩගේ අදහස වන්නට ඇත. ඒ ඔවුන් දෙදෙනා අතර තිබුණායැයි කියන පුද්ගලික කෝන්තරය නිසාය.

කෙසේ හෝ එවක එම පරීක්ෂණ සාර්ථකත්වයක් අත්කර නොගනී. එයට හේතුව මේ සිද්ධි දාමය සහ පුද්ගලයන් රැසක් මෙයට වගඋත්තරකරුවන් වීම වන්නට ඇත. 2009 ජූනි 10 වැනි දින එවකදී නේවි සම්පත් යැයි කියූ මේ සම්පත් මුණසිංහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගන්නා අතර එහිදී ඔහුගේ හමුදා නිවස්නයෙන් සොයාගත් ජාතික හැඳුනුම්පත් හා විදේශ ගමන් බලපත්‍ර ඔස්සේ මේ පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යාමේ සිද්ධියේ මූලික තොරතුරු අනාවරණය වී ඇත. එහෙත් පසුව පරීක්ෂණ ඈලියාවට යන අතර ඒ පරීක්ෂණ නැවත පණ ගසා නැගිටින්නේ යහපාලන රජය යටතේය.

එම නව තත්වය යටතේ පරීක්ෂණ ඉක්මන්ව සහ යහපත්ව සිදුවන විට අනාවරණය වන්නේ මේ සිද්ධියට අදාළව තවත් සම්පත් කෙනෙකු සිටින බවය. ඔහු අන්කිසිවෙක් නොව පසුගියදා අත්අඩංගුවට ගත් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චිය. මෙවැනි පුද්ගලයන් කල්ලි ගැහී මෙවැනි වැඩ කරන විට ආරූඪ නාම භාවිතා කිරීම අපරාධ ලෝකයේ සුලබ තත්වයකි. මේ කියන නේවි සම්පත් අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් අධිකරණයෙන් ඉල්ලා සිටින විට ඔහුගේ සම්පූර්ණ නම, වෙනත් නම්, හැඩහුරුකම් ආදි සියළු තොරතුරු පොලිසිය අධිකරණයට සපයා ඇත. එවැනි තත්වයකදී මේ කියන පැටලිල්ල සිද්ධ වන්නට නොහැක. මේ පුද්ගලයා රහස් පොලිසිය නේවි සම්පත් ලෙස නොහැඳින්නුවද මේ තිබෙන තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගන්නට පුළුවන් ය. රොෂාන් ලියෝන්, අමලින් ලියෝන්, අලි අන්වර් සහ තවත් පුද්ගලයන් රැසක් පැහැරගෙන යෑමට මේ දෙවෙනි සම්පත් නැතිනම් චන්දන හෙච්චිආරච්චි සම්බන්ධය. එහිදී ලැබුණු සාක්ෂිවල මේ පුද්ගලයා නියම නමින් අනාවරණය වී ඇතැයි සඳහන් කරන පරීක්ෂණ කණ්ඩායම්, එනිසා රණවිරු වන්දනාවේ යන මේ පත්තර කියන කතා එතරම් ගණන් ගත යුතු නැති බව කියන්නේය.

පසුගිය රජය අවධියේ නාවික හමුදාවේ ඔක්කොම කුණු සම්පත් මුණසිංහ මතින් යවා අත් සෝදාගන්න එවකදී කරන්නාගොඩ ලා සිතන්නට ඇත. එහෙත් දැන් සිදුවී තිබෙන්නේ තමන් සියල්ලෝම කළ වැරදිවලට මහඋළු ගෙදර යන්නටය. එවැනි තත්වයකදී මෙවැනි පුවත් මවමින් ඔවුන් බේරාගැනීමට මෙවැනි පත්තර පෙරට පැමිණීම අරුමයක් නොවන බවද කිවයුතුය.  

ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අත්අඩංගුවට ගත යුතුය.

හමුදාවේ ඉහළම නිලය  මෙලෙස අත්අඩංගුවට ගත යුතුය කියා අප කියන්නේ ඇයි?

ඒ වෙන කිසිවක් නිසා නොව අධිකරණයෙන් මෙම ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු ලබා සිටින විට සහ ඒ පිළිබඳ නාවික හමුදාව දැනුවත් කර තිබෙන විට, මේ පුද්ගලයා නාවික හමුදා මූලස්ථානයේ නිලධාරී නිවස්නයක රඳවා තබා ගනිමින් සහ ඉන්පසුව ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයකින් පිටරටකට ගොස් පැමිණීමට ආධාර සහ අනුබලය මෙම මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න සපයා තිබෙන බවට තොරතුරු ලැබී තිබෙන නිසාය. රහස් පොලිසිය ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. කපිතාන් අමරෝසා සහ ලුතිනන් කමාන්ඩර් ලක්සිරි ගීතාල් යන නාවික නිලධාරීන් පොලිසියට ලබාදුන් ප්‍රකාශ තුළ මෙම රැකවරණය සැපයීම සහ පිටමං කිරීම ඔප්පු කරන සාධක බොහෝ ප්‍රමාණයක් ඇත. සාමාන්‍ය පුද්ගලයෙකුට විරුද්ධව මෙවැනි තොරතුරු අනාවරණය වූවේ නම් ඔහු මේ වනවිටත් යකට කූරු ගණිනවා නියතය. එහෙත් විජය ගුණරත්නට ඒ නීතිය නැත. රහස් පොලිසියත් අධිකරණයට කරුණු වාර්තා කරනවාට අමතරව අත්අඩංගුවට ගන්නට කටයුතු කරන බවක් පෙනෙන්නට නැත. එහෙත් රහස් පොලිසියෙන් එන ආරංචි කියන්නේ විජය ගුණරත්න ඉතාමත් ඉක්මනින් අත්අඩංගුවට ගන්නා බවයි. එහෙත් ඒ සමගම එන වෙනත් වාර්තා කියන්නේ රටේ ඉහළම පුද්ගලයෙකු මේ අත්අඩංගුවට ගැනීම වළකන බවය. ඔහු ඒ සඳහා රහස් පොලිස් ලොක්කන්ට බලකරන බවය. එම බලකිරීම සඳහා මුණගැසීමට පවා කැඳවීම් ලැබෙන බවය.
යහපාලන ලොක්කන් තමන්ගේ ඉහළම තැනට වැළදී තිබෙන මේ රණවිරු උන්මාදය දුරු කිරීමට වෙහෙසිය යුතුය. වර්තමාන ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න මෙන්ම හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන යෑමේ මේ සිද්ධියට නීතිය ඉදිරියට කැඳවිය යුතුය. ඒ මේ අනාවරණය වී තිබෙන කරුණු අනුව නීතිය සැමට සාධාරණව ක්‍රියාත්මක වන්නේ නම් එලෙස විය යුතු බැවින්ය.

අනිද්දා.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න