ගෝල් මරීනා ව්‍යාපෘතියට මනුෂගේ විරෝධය ! 

ගෝල් මරීනා ව්‍යාපෘතියට මනුෂගේ විරෝධය ! 

ගාල්ල වරායේ කොටසක් යොදාගෙන ක්‍රියාත්මක කිරීමට ටෙන්ඩර කැදවා ඇති ගෝල් මරීනා ව්‍යාපෘතිය පිළිබද සංවර්ධන කමිටුවක හෝ සංවර්ධන ව්‍යාපෘති පිළිබද සාකච්ඡා කරන කිසිදු ස්ථානයක සාකච්ඡා කර නොමැති බවත් සැකකටයුතු ආකාරයට ගාල්ල වරායේ කොටසක් විදේශීය සමාගම්වලට ලබාදීමේ උත්සාහයට තමන්ගේ දැඩි විරෝධය පළ කරන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර  පැවසීය.
නියෝජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ගාල්ල, අක්මීමන ප්‍රදේශයේ දී  ඉරිදා (02) පැවති ජන හමුවකට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද පැවසුවේය.

ගාල්ල වරාය සහ රූමස්සල වෙරළ තීරය  සම්බන්ධ කරගනිමින් ගෝල් මරීනා නමින් සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට ටෙන්ඩර් කැදවා තිබෙනවා කියලා පත්තරවල පළවෙලා තිබුණා. පළමු අදියරේදී ගාල්ල වරායේ අක්කර පහක් ලබාදෙනවා. ඊට පස්සේ දෙවැනි තුන්වැනි අදියරවලදී රූමස්සල වෙරළ තීරයත් ලබාදීමට නියමිත බව තමයි අපිට දැනගන්න ලැබුණේ. මේ වගේ හෝටල් ව්‍යාපෘතියක් කරනවා කියලා ගාල්ල සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී කතා කරලා තිබුණේ නෑ. ගාල්ල සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපතිවරයා විදියට මම පත්තරෙන් දැනගන්නකම් මේ ගැන දැනගෙන සිටියේ නෑ. මේවා කරන්නේ කවුද, කොහොමද වෙන්නේ කියලා අපි හොයලා බලන්න ඕන.

ගෝල් මරීනා නමින් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ විදේශීය සමාගමක්. මේ සමාගම ඉදිරිපත් කරපු යෝජනාව අනුව, එම සමාගමට පමණක් ටෙන්ඩරය ලබාගත හැකි වන ආකාරයේ කොන්දේසි ඉදිරිපත් කරමින් තමයි ටෙන්ඩරය කැදවා තිබෙන්නේ. දැනටමත් මේවාට ටෙන්ඩර කැදවලා ඉවරයි. ඉන්දියානු සමාගමක්, ප්‍රංශ සමාගමක් සහ ස්විස්ටර්ලන්තයේ සමාගමක් ඇතුළු විදේශීය සමාගම් හතරක් තමයි ටෙන්ඩර ඉදිරිපත් කර තිබෙන්නේ. ඒත් ගාල්ලේ අපි මේවා ගැන කිසිම දෙයක් දන්නේ නෑ.

මේ අනුව විදේශ රටවලින් සුඛෝපභෝගී යාත්‍රා මගින් පැමිණෙන සංචාරකයින්ට ගාල්ල වරායට ඇවිත් විනෝද වෙලා නැවත එම යාත්‍රාවලින්ම යන්න පුලුවන්. ඒ සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යාලයකුත් මෙහි ස්ථාපිත කිරීමට සිදුවෙනවා. තීරු බදු රහිත වෙළදසැල් ආරම්භ කරනවා. මම මේ ගැන හොයලා බැලුවම තමයි මේවා හොයාගන්න පුලුවන් වුනේ.

මේවා කරන්නේ ගාල්ල වරායේ. රූමස්සල වෙරළ තීරයේ. ගාල්ල වරාය කියන්නේ ඓතිහාසික වශනේ හා පිහිටිම වශයෙන් වැදගත් ස්ථානයක තිබෙන වරායක්. මේ වරායේ කොටසක් විදේශ රටකට ලබාදීම මගින් ජාතික ආරක්ෂාවට වෙන බලපෑම කුමක්ද යන්න ගැන කිසිම තක්සේරුවක් කරලා නැහැ.  ඒ ගැන සාකච්ඡා කරලා නෑ. මේ වගේ සංවර්ධන ව්‍යාපෘතියක් කරනවා නම් ගාල්ලේ ජනතාවට වගකියන්න ඕන දේශපාලන නායකත්වය විදියට අපි දැනුවත් කරන්න ඕන. ඒ ගැන අපිට කිසිම කෙනෙක් දැනුම්දී නැහැ. ජනතාව දැනුවත් කරන්නේ නැතිව මේ වගේ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න ගිහින් ජනතා අපවාදයට ලක්වන්නට සිදුවන්නේ අපිට.

රූමස්සල වෙරළ තීරය ආසන්නයේ මේ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා නම් ඒකට පරිසර අධ්‍යනය වාර්තා අරගන්න ඕන. එයින් ගාල්ලට වන බලපෑම ගැන අධ්‍යයනයක් කරන්න ඕන. සංස්කෘතිමය නගරයක් වෙන ගාල්ලට වෙන බලපෑම මොකක්ද කියලා බලන්න ඕන. මේවා බලන්නේ නැතිව හිතුමතේට විදේශීය  සමාගම් එක්ක එකතුවෙලා ව්‍යාපෘති කරනවාට අපි විරුද්ධයි.

සංචාරකයින් ගෙන්වා ගන්නා සංචාරක හෝටල් ව්‍යාපෘති ගාල්ලට අවශ්‍යයි. හැබැයි ඒවා ගාල්ලේ ජනතාවට ප්‍රතිලාභ ලැබෙන ආකාරයේ ඒවා වෙන්න ඕන.

ගාල්ලේ තරුණ තරුණියන්ට රැකියාවක් ලැබෙන්නේ නැති, ගාල්ලේ ජනතාවට ප්‍රතිලාභයක් ලැබෙන්නේ නැති කිසිම දෙයක් ගාල්ලේ ක්‍රියාත්මක කරන්න මම ඉඩ දෙන්නේ නෑ. වරාය කියන්නේ ජාතික සම්පතක්. ඒවා ගාල්ලේ ජනතාව, රටට වැදගත් අයුරින් යොදා ගන්න ඕන. එහෙම නැතිව පුද්ගලික සමාගම්වලට විකුණලා රටේ සම්පත් විනාශ කිරීමට මම කිසිම අවස්ථාවකදී ඉඩ දෙන්නේ නෑ.

මෙම අවස්ථාව සදහා ගාල්ල නාගරික මන්ත්‍රී දේශප්‍රිය ලියනගේ  ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න