පසුගිය ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අවස්ථාවේ සිල් (සුදු) රෙදි බෙදීමේ නියෝගය තමන්ගේ වුවත් ඒ සඳහා වන යෝජනාව මහානායක හිමිවරුන්ගේ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සඳහන් කරයි.
පසුගියදා පොළොන්නරුවේ පැවති ව්‍යාපාරික බලමණ්ඩල රැස්වීම නම් අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළ අතර තමන් සිල් රෙදි බෙදීම සඳහා දුන්නේ නියෝගයක් පමණක් බවත් ඒ සඳහා වන යෝජනාව සම්බුද්ධ ජයන්ති දිනයදා මහානායක හිමිවරුන් සිදුකළ බවද ඔහු එහිදී පවසා ඇත.
එසේම අදාළ යෝජනාව සිදුකලේ පන්සලේ මහානායක හිමිවරුන් බවත් බුද්ධාගම වෙනුවෙන් වැඩ කළ යුත්තේ එවැනි කටයුතුහරහා බවට තමන් හට එම ස්වාමීන් වහන්සේලා පැවසූ බවද හිටපු ජනාධිපති සඳහන් කර ඇත.
නමුත් අද මේ ආණ්ඩුව බුදුදහමට නිගරු කරමින් "බුදුන්ගේ රස්තියාදුව" නමින් පොත් මුද්‍රණය කරන බවත් එසේම නිර්වස්ත්‍රන් පරමං සුඛං නමින් නාට්‍ය හදන බවත් සඳහන් කළ ඔහු ඒ කියන්නේ කාගේ නිර්වස්ත්‍රය ගැනද නොදන්නා බවත් සඳහන් කර ඇත.
එහිදී සභාව සිනාසෙන්න ගත්විට මේවා අසා සිනාසෙන්න නොව අඬන්න ඕන බවද හිටපු ජනාධිපති පවසා ඇත.
හිටපු ජනාධිපති මහින්ද "කෙප්ප මහින්ද" ව ඇති බව තහවුරුයි !
මහින්ද රාජපක්ෂ නම් හිටපු ජනාධිපතිවරයා මේ වන විට බොරු කීමෙන් චේතිය රජුද පරදා ඇති බව පමණක් නොව තමන් කළ වැරදි වලට භික්ෂූන් වහන්සේලා පාවාදෙන තැනටද පත්ව ඇති බව මේ කතාවෙන් පැහැදිළි වෙයි.
වඩාත් සරලව කියනවා නම් මහින්ද රාජපක්ෂ සිය රෙජීම පාලන සමයේදී තම ප්‍රතිරූපය මෙන්ම ඒකාධිපති පවුල් පාලනයේ දුෂණ අක්‍රමිකතා ඇතුළු අහස පොළව නුහුලන අපරාධ වසං කිරීමට දැරූ ප්‍රචාරක වියදම් දුටු කිසියම් හෝ හිමිනමක් ඒ නාස්තිකාර වියදම් වෙනුවට සිල් රෙද්දක් හෝ බෙදනවා නම් පිනක් බව හිටපු ජනාධිපතිට කිව්වා යන්න විශ්වාස කළ හැකිය.
භික්ෂු ශාසනයම පාවාදීමක් !
එසේම එම යෝජනාව කළේ සම්බුද්ධ ජයන්ති දිනයේ නම් සිල් හෝ සුදුරෙදි බෙදීමට තිබුණේ ඒ සමයේදීය. නමුත් මහින්ද රෙජීමය සුදුරෙදි බෙදුවේ පසුගිය ජනාධිපතිවරණය පැවැත්වීමට ආසන්න දිනවලය. ඒ කියන්නේ එදා ජන්ද අපේක්ෂාවෙන් අහිංසක උපාසක උපාසිකාවන් රැවටීමට යොදාගත් ප්‍රයෝගය, එය මැතිවරණ සමයේදී සිදුකළ බැවින් නීති විරෝධී මෙන්ම ඒ හරහාද රාජ්‍ය මුල්‍ය වංචා කිරීමක්ද වන නිසා එහි ගැලවීම සඳහා සමස්ථ සංඝ පරපුරම පාවාදෙන තැනට හිටපු ජනාධිපති පත්ව ඇති බවය.
අනෙක් අතට එදා පොදු විපක්ෂයේ මැතිවරණ වේදිකාවේ පවා සුදු රෙදි බෙදීම ගැන විවේචනය වන විට රාජපක්ෂ හිටපු ජනාධිපති මෙවැනි කතාවක් කීවේ නැත. එසේම එයින් අනතුරුව මේ පිළිබඳ අධිකරණය හමුවේ මෙන්ම මාධ්‍ය හරහා පවා සංවාදයට ලක්වන විට හිටපු ජනාධිපති මේ භික්ෂුන් වහන්සේලාගේ හෝ නායක හිමිවරුන් ගැන කීවේ නැත. එදා ඒ ගැන කීවේ "සිල් රෙදි බෙදීමත් වරදක් වෙලා හාන්දුරුවනේ" කියාය.
නමුත් දැන් දැන් අධිකරණ හමුවේ රාජපක්ෂලාගේ දුෂණ වංචා මෙන්ම සිදුකළ අපරාධ සාක්ෂි සහිතව තහවුරු වෙමින් ඇති පසුබිමේ "භික්ෂුන් වහන්සේලා" පටළවා රාජ්‍ය මුල්‍ය අක්‍රමිකතා සිදුකලේ උන්වහන්සේලාගේ කීමට බව සමාජගත කරන තැනට හිටපු ජනාධිපති පත්ව ඇත.