වසර දෙකක් තුළ :  ශ්‍රී ලන්කන් වෙත බිලියන 45ක බැඳුම්කර ! 

වසර දෙකක් තුළ :  ශ්‍රී ලන්කන් වෙත බිලියන 45ක බැඳුම්කර ! 

ශ්‍රී ලංකා මහ බැංකුව, ලංකා බැංකුව හරහා රුපියල් බිලියන හතළිස්පහක් පමණ වටිනා භාණ්ඩාගාර බැඳුම්කර තුනක් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට වසර 2012 සිට 2014 දක්වා වූ කාලයේ දී ඍජුව නිකුත්කර තිබෙන බව ලංකා බැංකුවේ භාණ්ඩාගාර බැඳුම්කර අංශයේ නියෝජ්‍ය ප්‍රධාන අලෙවිකරු ලසන්ත ප්‍රේමරත්න මහතා ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ  සාක්කි දෙමින්අනාවරණය කර තිබේ.

රජයේ අධිනීතිඥ දිස්නා වර්ණකුල මහත්මියගේ විමසීම් හමුවේ සාක්කි දෙමින් සාක්ෂිකාර ප්‍රේමරත්න මහතා අදාළ ලියකියවිලි කොමිසම හමුවට ඉදිරිපත් කර ඇති අතර  වැඩිදුරටත් සාක්ෂි දෙමින් ඔහු පවසා ඇත්තේ  මෙම බැඳුම්කර නිකුතු තුනම එකම ආකාරයට සිදුවුණු බවය.

ලංකා බැංකුව බැඳුම්කර ගනුදෙනුවලට සම්බන්ධව ක්‍රියාකරන ප්‍රාථමික අලෙවිකරුවකු බැවින් ලංකා බැංකුව හරහා මෙම බැඳුම්කර නිකුත් කළ බවත් අදාළ බැඳුම්කර තුනම ලංකා බැංකුව ශ්‍රී ලන්කන් වෙත පැවරූ බවත් සාක්ෂිකරු එහිදී පවසා තිබේ.

මෙම බැඳුම්කර මිල දී ගැනීමට ලංකා බැංකුව මුදල් ලබාගත්තේ ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ පවත්වාගෙන යන මහා භාණ්ඩාගාර ලේකම්ගේ ගිණුමෙන් බවත්  භාණ්ඩාගාර මෙහෙයුම් දෙපාර්තමේන්තුව ලංකා බැංකුවට දුන් ලිඛිත උපදෙස් මත එම ගිණුමෙන් හරවීම් සිදු කරගත් බවත් ඔහු පවසා ඇත.

තවද ශ්‍රී ලන්කන් ගුවන් සමාගම, බැංකුවට ලබාදුන් ලිඛිත උපදෙස් මත ඛනිජතෙල් නීතිගත සංස්ථාවටත් තවත් බැංකු 6කට හා ආයතනයකට අදාළ බැඳුම්කර පැවරූ බව පැවසූ සාක්ෂිකරු ඊට අමතරව ලංකා බැංකුව ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් බැඳුම්කර කිහිපයක් මිලදී ගත් බවත් ඔහු පවසා ඇත.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සභාපතිත්ව‍ෙයන් විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති, එච්. ඩී. ඒ. හැරල් මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් සහ විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ගීගනගේ මෙනවියගෙන් හෙබි ශ්‍රී ලන්කන් ගුවන් සේවය, ශ්‍රී ලන්කන් කේටරින්, මිහින් ලංකා ආයතනවල වංචා දූෂණ පිළිබඳ ජනාධිපති ‍පරික්ෂණ කොමිසම ඉදිරියේ 14 පසුගිය වනදා මෙම සාක්ෂි විමසීම සිදුවිය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න