ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශක්තිමත් අපනයන ආර්ථිකයක් අවශ්‍යයි - අගමැති 

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශක්තිමත් අපනයන ආර්ථිකයක් අවශ්‍යයි - අගමැති 

ගෝලීය ආර්ථික අර්බුදයට මුහුණ දීමට ශක්තිමත් අපනයන ආර්ථිකයක් තිබිය යුතු බව පෙන්වා දෙන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා පියවර ගන්නා බව ඊයේ (26) කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේදී පැවසීය.

ශ්‍රී ලංකාව 1977 දී ආරම්භ කළ අපනයන ආර්ථික සංකල්පය තායිලන්තය, වියට්නාමය වැනි රටවල් අඛණ්ඩව ඉදිරියට ගෙන ගොස් තිබෙන බවත් ඒ නිසා වර්තමානයේ උද්ගතව ඇති ගෝලිය ආර්ථික අර්බුදය එම රටවලට එතරම් බලපෑමක් ඇති නොකරන බවත් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ත්‍යාග ප්‍රදානෝත්සවයට සහ නව තෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

වර්තමානයේ රුපියලේ අගය පහළ යාමේ අර්බූදයට මුහුණ දී සිටින්නේ පසුගිය පාලකයන් විශාල වශයෙන් ජාත්‍යන්තර ණය ගැනීම හරහායි. ඔවුන්ට ණය පියවීමට නොහැකි වූවත් වැට් වැඩි කරමින් ඇතැම් භාණ්ඩවල බදු වැඩි කරමින් ණය පියවීම කළමනාකරණය කර ගැනීමට අපේ ආණ්ඩුවට හැකිවුණා.

අපනයන ආර්ථිකයක් ඇතිකිරීම හරහා අපේ නිෂ්පාදන අපනයනය කරමින් ඩොලර් උපයා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ හරහා රටේ ආර්ථිකය ශක්තිමත් වෙනවා. එවිට ඉදිරියේදී ගෝලීය ආර්ථිකයන් හමුවේ රුපියලේ අගය ස්ථාවරව පවත්වා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වෙනවා.

වර්තමාන ලෝකයේ අධ්‍යාපනය යනු ගෝලීය තරගයක් බව පැවසිය යුතුයි. ගෝලීයකරණයේ ප්‍රධානම කරුණක් ලෙස අධ්‍යාපනය සැලකෙනවා. එම නිසා රටේ කෙතරම් ගැටලූ තිබුණත් අධ්‍යාපන ක්ෂේත්‍රයට වෙන් කරන මුදල් වැඩිකරමින් එය දියුණු කිරීමට අවශ්‍ය සියලූ වැඩකටයුතු අපේ ආණ්ඩුව යටතේ සිදුකරන බව පැවසිය යුතුය.

ශ්‍රී ලංකාවට ගැලපෙන නවීන අධ්‍යාපන ක්‍රමයක් ඇතිකිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මැතිතුමාට බාරදී තිබෙනවා. ඊට පෙර පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි, පාසල් උපකරණ, ආදිය ලබාදීමට අප කටයුතු කරමින් සිටිනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන ආරම්භ කර තිබෙනවා. ගුරුවරුන් බඳවාගැනීමේ කටයුතු සිදුකරමින් සිටිනවා. අඩුපාඩුකම් තිබෙනවා නම් අධ්‍යාපන ක්ෂේත්‍රය දියුණු කළ නොහැකියි.

මෙම අවස්ථාවට අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම්, ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ, ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජේ.සි අලවතුවල යන මහත්වරු ප්‍රමුඛ දේශපාලඥයින් හා රාජ්‍ය නිලධාරීන් රැසක් සහභාගීව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න