ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් - මනුෂ 

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ඉහළ ජාත්‍යන්තර පිළිගැනීමක් - මනුෂ 

ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතිය පනතට ලෝකයේ විශාල පිළිගැනීමක් ලැබී තිබීමත් ඩිජිටල්කරණය සදහා රජය ගෙන ඇති සාධනීය මැහදිහත්වීම නිසාත් ජාත්‍යන්තර වශයෙන් ලංකාවට විශාල කීර්තියක් ඇතිවී තිබෙන බව විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසීය.

ගල්කිස්ස මහ හෝටලයේදී සැප්තැම්බර් 28 සහ 29 යන දින දෙකේදී පැවැත්වෙන තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සදහා වන යුනෙස්කෝ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවය පිළිබද එම අමාත්‍යාංශයේදී  ඊයේ  (26) දින පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව පැවසුවේය.

විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ හා අධ්‍යාපන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් යුනෙස්කෝ සංවිධානය විසින් ප්‍රකාශිත තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සදහා වන ජාත්‍යන්තර දින සැමරුම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 28 වැනිදා ගල්කිස්ස මහ හෝටලයේදී ආරම්භවේ.  සාමාජික රටවල් විසින් සාමය හා තිරසර සංවර්ධනයක් අත්කරගැනීමේදී තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් අත්පත් කරගැනීමේ වැදගත්කම මෙහිදී අවධාරණය කිරීමට නියමිත අතර ඒ වෙනුවෙන් තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශය සදහා වන කොළඹ ප්‍රකාශයද එළිදැක්වීමට නියමිතය.

මේ පිළිබද අදහස් දැක්වූ නියෝජ්‍ය ඇමැතිවරයා මෙසේද කීවේය.

ලංකාවේ තොරතුරු දැනගැනීම් පනත සම්මත කරගත්තා. එම පනතට ලෝකයේ හොද පිළිගැනීමක් ලැබී තිබෙනවා. ඒ වගේම ඩිජිටල්කරණය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර නිසාම ශ්‍රී ලංකාව මෙම සමුළුව පැවැත්වීමට තෝරාගෙන තිබෙනවා. ලංකාව ඩිජිටල්කරණය අතින් පුරෝගාමී රටක් බවට පත්වී තිබෙනවා. අපගේ අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය හා යුනෙස්කෝ සංවිධානය, සහ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව එකතුවෙලා තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ.

මේ සදහා විදේශ රටවල නියෝජිතයින් පනහක් පමණ සහභාගීවීමට නියමිතයි. එහිදී තොරතුරු සදහා විශ්වීය ප්‍රවේශයක් ලබාගැනීමේ වැදගත්කම සාකච්ඡා කරනවා. ඒ සදහා වන කොළඹ ප්‍රකාශයත් සම්මත කරගැනීමට අපේක්ෂා කරනවා.

තොරතුරු දැනගැනීම සදහා කිසිදු භේධයකින් තොරව, සියලුදෙනාටම තොරතුරු සදහා ඇති අයිතිය පිළිබද මෙහිදී අවධානය යොමු කරනවා. ඒ වගේම ඩිජිටල්කරණය සදහා රජයේ සක්‍රීය දායක්තවය, තොරතුරු දැනගැනීමේ අයිතිය තහවුරු කිරීමට ගෙන ඇති පියවර ගැනත් මෙහිදී අවධානය යොමු කරනවා. ඒ වගේම ඒ ඒ රටවල් තොරතුරු සදහා ඇති ප්‍රවේශය පිළිබදවත් ඒවායේ සාර්ථත්වය පිළිබදවත් මෙහිදී සාකච්ඡා කරනවා. ඒ ඒ රටවල් ගෙන තිබෙන පියවර පිළිබද මේ සමුළුවේදී සාකච්ඡා කරනවා. ඩිජිටල්කරණය, අන්තර්ජාල තාක්ෂණය හරහා තොරතුරු සදහා ඇති පියවර ගැන අවධානය යොමු කරනවා.

මෙහිදී අදහස් දැක්වූ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාවයේ ශ්‍රී ලංකා උපදේශක නාලක ගුණවර්ධන මහතා මෙසේ පැවසීය.

මෙම සමුළුවේදී තොරතුරු දැනගැනීමේ පනත පිළිබදව, විද්‍යුත් හා ඩිජිටල් මෙවලම් පිළිබදව, ජංගම දුරකතන හරවත්ව භාවිතා කිරීම පිළිබදව, සංවාදයක් ඇතිකරනවා. ඩිජිටල් තාක්ෂණය සමග වැඩ කිරීමට ඇති අවස්ථාවන්, ඒ වගේම ඩිජිටල් තාක්ෂණයේ ඇති හොද නරක පිළිබද මෙහිදී අවධානය යොමු කරනවා. ඩිජිටල් තාක්ෂණය කියලා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. ඩිජිටල් තාක්ෂණයේ ඇති නරකින් මිදී හොද ආකාරයට එය භාවිතා කිරීම පිළිබද මෙහිදී සාකච්ඡා කරනවා. දකුණු ආසියාවේ පළමුවෙන්ම පළමුවෙන්ම ජංගම දුරකතන හදුන්වාදුන්නේ ලංකාවට. වානිජමය වශයෙන් අන්තර්ජාලය මුල් වරට හදුන්වාදුන්නේ ලංකාවට. 3ජී 4ජී තාක්ෂණය මුල් වරට හදුන්වාදුන්නේ ලංකාවට. ඒවායේ භාවිතාවන් පිළිබදව තමයි අපි මෙහිදී සාකච්ඡා කරන්නේ. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය භාවිතාවන් පිළිබදවත් අපි මෙහිදී සාකච්ඡා කරනවා.

මෙම අවස්ථාවේදී විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් වරුණ ධනපාල මහතාද අදහස් දැක්වීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න