සීෂෙල්ස් ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට පියවර 

සීෂෙල්ස් ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කිරීමට පියවර 

ශී‍්‍ර ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර වෙළඳ  සහ සංචාරක ක්ෂේත‍්‍රයේ සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ  සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ එකඟතාවකට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මේ අතර දෙරට අතර පවතින ද්වි පාර්ශ්වික සබඳතා  තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් දෙකකට ද රාජ්‍ය නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.

එම ගිවිසුම් තොරතුරු තාක්ෂණ සහයෝගීතාව ඉහළ නංවා ගැනීමට අදාළ නව ගිවිසුමට මොරටුව විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් හි තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය අතර අත්සන් තැබුණු අතර වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ සහයෝගිතාවය ඉහළ නංවා ගැනීමට අදාළ ගිවිසුමක් ශ‍්‍රී ලංකා වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය සහ සීෂෙල්ස් තාක්ෂණ ආයතනය අතර අත්සන් තැබිණි. 

සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ මහතා විසින් සිදුකළ විශේෂ ආරාධනය පරිදි සීෂෙල්ස් හි දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිිරිසේන සහ සීෂෙල්ස් ජනාධිපති ඩැනී ෆෝ  අතර නිල හමුව ඊයේ  (08) පස්වරුවේ සිදු වූ අතර එහි දී මේ පිළිබඳ  දීර්ඝ වශයෙන් සාකච්ඡා කල බවද එම නිවේදනයේ දැක්වේ.

සංචාරක කර්මාන්තය හා ධීවර කර්මාන්තය තුළින් ක‍්‍රමික සංවර්ධනයක් ළඟා කරගෙන ඇති සීෂෙල්ස් රාජ්‍ය අපි‍්‍රකානු කලාපයේ ඉහළම සංවර්ධනයක් සහිත රටකි. දෙරට අතර වෙළඳ  සහ සංචාරක සබඳතා   නව ක්ෂේත‍්‍ර කරා ව්‍යාප්ත කරමින් ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳද  මෙහිදී නායකයන්  දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇති බවද සඳහන්ය.

එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සඳහන් කර ඇත්තේ රටවල් දෙක අතර ව්‍යාපාරික සංසදවල සබඳතා ද වැඩිදියුණු කර ගනිමින් ඉදිරි කටයුතු සිදු  කිරීම පිළිබඳවද  අදාළ අංශවලට උපදෙස් ලබා දෙන බවයි. 

මේ වසර අවසානයේ සීෂෙල්ස් හි පැවැත්වෙන වෙළෙඳ ප‍්‍රදර්ශනය සඳහා  ශ‍්‍රී ලාංකික ව්‍යාපාරිකයින් වැඩි පිරිසක් සහභාගී කරවීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කර ඇත.

දෙරට අතර අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් ද්වීපාර්ශ්වික මෙන්ම කලාපීය කරුණු රැසක් ද මෙහිදී සාකච්ඡාවට බඳුන්ව ඇත.

සීෂෙල්ස් හි සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ලබා දෙන සහය පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කළ සීෂෙල්ස් ජනාධිපතිවරයා සීෂෙල්ස් වෛද්‍යවරුන්ට ශ‍්‍රී ලංකාවේ පුහුණු අවස්ථා ලබාදෙන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.

එමෙන්ම සීෂෙල්ස් ආරක්ෂක හමුදාව සඳහා  ශ‍්‍රී ලංකාව තුළ හමුදා පුහුණු අවස්ථා ලබාදීමට, අධිකරණ සහ නීති කෙටුම්පත් අංශ සඳහා අවශ්‍ය පුහුණුව ලබා ගැනීමට සහයවන  ලෙස ද  ඉල්ලීමක් ඉදිරිපත්ව ඇති අතර මෙම ඉල්ලීම් කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපතිතුමා ඒ සඳහා  අවශ්‍ය කටයුතු කඩිනමින් සොයා බලන බව ප‍්‍රකාශ කර තිබේ. එසේම  සීෂෙල්ස් සිසුන්ට වෘත්තීය පුහුණු ක්ෂේත‍්‍රයේ ශිෂ්‍යත්වය 10 ක් වාර්ෂිකව ලබාදීමට ද එකඟව ඇත.

ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 2400 ක පමණ පිරිසක් සීෂෙල්ස් රාජ්‍යයේ සේවය කරන අතර ඔවුන්ගේ සුබසාධනය සඳහා  ලබාදෙන සහය පිළිබඳවද  ජනාධිපතිතුමා මෙහිදී සිෂෙල්ස් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න