හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු විත්තිකරුවන් හත් දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 4 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බවට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද (09) නියම කළේය.
මෙම නඩුව අද සම්පත් අබේකෝන් (සභාපති), සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුණු අතර එහිදී පළමුවන විත්තිකරු වන හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණයට දන්වා සිටියේ සාධාරණ නඩු විභාගයක් සඳහා විත්තිය වෙත ලැබිය යුතු ලේඛන මෝසමක් මාර්ගයෙන් අධිකරණය වෙත දැනුම් දී ඇති බවය.
ඊට ප්‍රතිචාර දක්වමින් පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටීයෙ අධිචෝදනා පත්‍රය සමඟ භාරදිය යුතු ලේඛන ගණනාවක් දැනටමත් විත්තිය වෙත ලබාදී ඇති බවත් ඊට පරිබාහිරව යම් ලේඛන අවශ්‍ය නම් ඒවා ද ලබාදීමට පැමිණිල්ල කටයුතු කරන බවත්ය.
මෙහිදී විනිසුරු සම්පත් අබේකෝන් මහතා විවෘත අධිකරණයේ සඳහන් කලේ පැමිණිල්ල විසින් ඉල්ලා සිටින ඇතැම් ලේඛන ලබාදීම සඳහා අධිකරණයට කළ හැක්කේ සහාය වීමක් පමණක් බවත් අධිකරණය විසින් ලබා දෙන නියෝග ලබා ගෙන තමන්ට අවශ්‍ය කරන ලේඛන අදාල පාර්ශ්වයන් වෙතින් කඩිනමින් ලබා ගැනීමට විත්ති පාර්ශවය කටයුතු කළයුතු බවත්ය.
මෙහිදී විත්තිකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවට අදාළව අධිකරණ බලය සම්බන්ධයෙන් මූලික විරෝධතාවක් මතු කිරීමට තමන් අපේක්ෂා කරන බවය.
කෙසේ වෙතත් මෙහිදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටීයේ, විත්තිය මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එහි සාරාංශයක් තමන් වෙත ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බවත් ප්‍රමාදයකින් තොරව නඩු විභාගය පවත්වාගෙන යාමට ඒ තුළින් හැකියාව සැලසෙන බවත්ය.
අනතුරුව විත්තිය විසින් ඉල්ලා සිටින ලේඛන නිසි පරිදි ලැබී තිබේද පරික්ෂා කිරීම සඳහා නඩුව ලබන 19 වනදා කැඳවීමට නියම කළ ත්‍රි පුද්ගල විශේෂ මහාධිකරණය නඩුව දෙසැම්බර් මස 04 වනදා සිට දිනපතා විභාගයට ගන්නා බව නියම කළේය.
මෙම නඩුවේ සෙසු විත්තිකරුවන් ලෙස ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති ප්‍රසාද් හර්ෂණ ද සිල්වා සහ එම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් වශයෙන් කටයුතු කළ භද්‍රාවතී කමලදාස, සුධම්මික ආටිගල, සමන් කුමාර ගලප්පත්ති , ඩී.මෙන්ඩිස් සාලිය සහ මල්ලිකා කුමාරි සේනාධිර යන අය නම් කර තිබේ.
ඉකුත් රජය සමයේ මැදමූලන ප්‍රදේශයේ දී රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා ඉඩම් ගොඩ කිරිමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවට අයත් රුපියල් මිලියන 33.9 ක මුදලක් යොදවා එම මුදල සාවද්‍ය පරිහරණය කළ බවට චෝදනා කරමින් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව පොදු දේපල පනත යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

