මෛත්‍රීගේ නිහැඬියාව සැකයි : දේශපාලන විචාරකයන් කියයි !

මෛත්‍රීගේ නිහැඬියාව සැකයි : දේශපාලන විචාරකයන් කියයි !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර පසුගියදා එස්.බී. දිසානායක මන්ත්‍රීවරයාගේ නිවසේ පැවති බව කියන රහස් හමුව සම්බන්ධව ජනාධිපතිවරයා දක්වන නිහඬ පිළිවෙත දෙස සැකමුසුව බැලිය යුතු බව දේශපාලන විචාරකයන් සඳහන් කරයි.

ඒකාබද්ධ විපක්ෂය සහ ආණ්ඩුවේ සිටින ශ්‍රීලනිප එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමට ගන්නා උත්සාහය සම්බන්ධව එහිදී සාකච්ඡා කර ඇති බැවින්  අවම වශයෙන් ඒ පිළිබඳ නිවේදනයක් නිකුත් කිරීමේ වගවීමක් වත්මන් ජනාධිපතිවරයාට ඇති බවත් ඒ නොසළකා කටයුතු කිරීම පිටුපස ඇත්තේ ලක්ෂ 62 ක ජනවරම ඔහු අත්තනෝමතික ආකාරයට භාවිතා කිරීම බවත් ඔවුන්ගේ අදහස වී ඇත.

එසේම මීට පෙර 2015 ජනවරම අභියෝගයට ලක්වීමට ලක්වූ අවස්ථා කිහිපයකදීද ජනාධිපතිවරයා මෙසේ නිහඬ ප්‍රතිපත්තියක සිටි බවත් ඒ සෑම අවස්ථාවකදීම 2015 ජනවරම අභියෝගයට ලක්වූ බවද ඔවුන් පෙන්වා දෙයි.

දේශපාලන විචාරකයන් මේ සම්බන්ධව වැඩිදුරටත් මෙසේද කරුණු දක්වයි.

ශ්‍රීලනිපයේ සභාපතිකම ගන්නා විට ලබාදුන් පොරොන්දුවක් 

2015 වසරේ ජනාධිපතිවරණය වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත්වුයේ පොදු විපක්ෂය යටතේ නිර්පාක්ෂිකයකු ලෙසය. නමුත් ඔහු එම වසරේ  ශ්‍රී ලංකා නිදහස්  පක්ෂයේ නායකත්වය (සභාපති) ලබාගත් අතර ඒ සඳහා ප්‍රභූ නිවසක ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරයා අතර රහස් හමුවක් පැවති බවටද පුවත් පළවිය. එසේම ඊට සමගාමීව පළවූ තවත් ප්‍රවෘත්තියක් වූයේ අදාළ සාකච්ඡාවේදී "ශිරන්ති රාජපක්ෂ(හිටපු ජනාධිපති ආර්යාව)" ට ඇති කිසිඳු චෝදනාවක් (සිරිලිය ගිණුම, තාජුඩීන් ඝාතනය) සම්බන්ධව ඇයව අත්අඩංගුවට ගැනීමක් හෝ නීතිය ක්‍රියාත්මක කිරීමක් සිදුනොකරන බවට ජනාධිපතිවරයා පොරොන්දුවී ඇති බවය. එම පුවත පළවූ ඒ සමයේ ජනාධිපතිවරයා ඒ සම්බන්ධව කිසිඳු කරුණු පැහැදිළි කිරීමක් සිදුනොකළ අතර එහිදී අනුගමනය කළේ ගුප්ත නිහැඬියාවක්ය. 

විශ්වාසභංග අවස්ථාව !

එපමණක් නොව ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයා ඉලක්කකර ගෙනා විශ්වාසභංග යෝජනාව හමුවේ ඊට සහය දැක්වීමට එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවේම අමාත්‍යධුර දැරූ පිරිසක් තීරණය කළ අතර විශ්වාසභංග ජන්ද විමසීමේදී ද ඔවුන් ඊට පක්ෂව ජන්දය දෙනු ලැබිණ.

ඒ පිරිසද සඳහන් කර සිටියේ තමන් විශ්වාසභංග යෝජනාවට පක්ෂව ජන්දය භාවිතා කළේ ජනාධිපතිවරයාගේ ආශීර්වාදය ඇතිව බවය. එහිදීද ජනාධිපතිවරයා ඊට අදාළ  කිසිඳු කරුණු පැහැදිළි කිරීමක් සිදුනොකළ අතර ගුප්ත නිහැඬියාවකම පමණක් ගිලී සිටිනු දක්නට ලැබිණ. ආණ්ඩුවේ සිට ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවට සහය දුන් ශ්‍රීලනිප අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂය මැදිහත්වී ආණ්ඩුවෙන් සහ අමාත්‍යධුර වලින් ඉවත්කර දැමුණු නමුත් ඔවුන්ට පක්ෂ ප්‍රතිසන්විධානයේදී තනතුරු දීමට ජනාධිපතිවරයා කටයුතු කරනු ලැබිණ.

ප්‍රජාතන්ත්‍රවාදය ගැන වන විශ්වාසය බිඳ වැටීමේ අවධානම !

මේ ඉහත අවස්ථා දෙකම කියන්නේ ජනාධිපතිවරයා නිහඬව සිට 2015 ජනවරම අමුඅමුවේ කෙළෙසු අවස්ථාය. ඒ අර්ථයෙන් බැලූවිට වත්මන් අවස්ථාවේ සභාග ආණ්ඩුවක් වෙනුවෙන් 2015 ජනවරමට එරෙහිව කටයුතු කිරීමත් ඒ වෙනුවෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සමඟ රහස් හමුවක් පැවතීමත් බැහැර කළ නොහැකි බව විචාරක අදහසවී තිබේ.

ඒ අනුව ඔවුන් පෙන්වා දෙන්නේ 2015 ජනවරම යනු මෛත්‍රීපාල සිරිසේන යන නමට ලැබුණක් නොව ඒකාධිපති පවුල් පාලනය අවසන්කර ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් මෙරට ස්ථාපිත කරන්නට ඉදිරිපත් කළ වැඩපිළිවෙලට ලැබුණු ජනවරමක් බව සිහිතබාගෙන මේ ප්‍රශ්නය විග්‍රහ කරගත යුතු බවය.

එසේම මෛත්‍රීපාල සිරිසේන නම් විපක්ෂයේ පොදු අපේක්ෂකයා සමඟ එදා රාජපක්ෂ ආණ්ඩුවෙන් එළියට පැමිණි පිරිස තවමත් තමන් ගොඩනැගූ යහපාලන  කඳවුර තුළ ස්ථාවරව  සිටිනබවත් ඔවුන් ජනාතිපතිවරයාගේ මේ ප්‍රතිපත්තිය ගැන නිහඬ නමුත් එය අනුමත කරන බවක් පෙනෙන්නට නැති බවත් විචාරක මතයවී තිබේ.

අවස්ථාවාදය පරාජය කළ යුතුයි !

එසේම මෙහිදී  ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව පැවති සහ පවතින විශ්වාසය පළුදු කරගත යුතු නැති බවත් ඊට අදාළව ජනතා අවධානය යොමුකළ යුතුව ඇත්තේ ලබාගත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන අවකාශය ස්ථාවර කර ගැනීම වෙනුවෙන් ඒ තුළම නිර්මාණයවී තිබෙන අවස්ථාවාදී ප්‍රවණතාව පරාජය කිරීම ගැනත් බවය.

මන්ද නමක් හෝ ධුරයක්, නැතිනම් පුද්ගලයෙක් මත ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන ජනතා විශ්වාසය පළුදු කරගතහොත් ඒ නිසා සමාජයට අති මහත් වන්දියක් ගෙවීමට වැඩි ඉඩක් පවතින බවත්, එය බොහෝ විට මිලේච්ච ඒකාධිපති පාලනයක් තුළ සිදුවීමට වැඩි ඉඩක් පවතින බවද ඔවුන් පෙන්වා දෙයි.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න