රටේ ජනතාව වත්මන් රජයට බලය ලබා දී ඇත්තේ ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්නට පමණක් බවත් යම් යම් මත ගැටුම් ඇතිවීම කියන්නේ නිවැරදි තීන්දුවක් ගැනීමට හැකිවීම මිස ආණ්ඩුවේ බෙදීමක් නොවන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක අමාත්‍යය දුමින්ද දිසානායක පවසයි.
අමාත්‍යයවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ, ආපදා අවම කිරීමේ ව්‍යාපෘතිය යටතේ තඹුත්තේගම ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකට එක්වෙමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යයවරයා මෙසේ ද පවසා තිබේ.
1994 ඉඳන්ම 2015 වනතුරුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව නියෝජනය කරන්න පුළුවන්කම ලැබුණා, ඒ වගේම 2015 ඉඳන් 2020 වනතුරුත් ආණ්ඩුව නියෝජනය කරමින් ජනතාවට සේවය කරන්න පුළුවන්කම තියෙනවා.මට ආපදා කළමණාකරන අමාත්‍යයවරයා විදිහට, ඒ වගේම අනුරාධපුර කළාවැව ආසන සංවිධායකවරයා ලෙස වගේම අතිගරු ජනාධිපතිතුමන්ගේ නියෝජිතයා විදිහට අපිට වැඩකරන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ අපි ආණ්ඩුව නියෝජනය කරන නිසා, මේකේ ප්‍රථිපලය තියෙන්නේ ගමේ ඉන්න අපේ උදවියට, වෙනදා අපි යූ.එන්.පී - ශ්‍රී ලංකා දෙපිළ බෙදිලා ගහගත්ත එක කලේ, අපේ ආණ්ඩුව ආවම අපි යූ.එන්.පී කාරයෝ තැලුවා, යූ.එන්.පී ආණ්ඩුවක් ආවම අපේ එවුන්ට තැලුවා.
අපි දේශපාලනය නිසා ගමේකම නැති කර ගත්තා, අල්ලපු වැටත් එක්ක තරහා වුණා, ඥාතියත් එක්ක තරහා වුණා, කොඩිවැල කඩා ගත්තා, කාර්යාලය කඩා ගත්තා, මනුස්සකම නැති කර ගත්තා.හැබැයි දැන් අපි මේ සේරම තේරුම් අරගෙන ප්‍රධාන පක්ෂ දෙකම එකට එකතු වෙලා ආණ්ඩුවක් කරන්නේ රට හදන්න මිසක් වෙන දෙයක් බලාපොරොත්තුවෙන් නෙමෙයි.
අර වෛරී දේශපාලනය නවත්තලා, ගහ-බැණ ගත්ත දේශපාලනය නවත්තලා, පළිගත්ත යුගය නවත්තලා, දැන් අපිට ඕනකම තියෙන්නේ ගම සමගි කරන්න, මේ රට දියුණු කරන්න, ගම දියුණු කරන්න තමයි අපිට උවමනාව තියෙන්නේ, හැබැයි සමහරු මේකත් දකිනවා වැරදි විදිහට.සමහරු බලය ලබා ගැනීමේ වුවමනාවෙන් මේක විවේචනය කරනවා.
සමහරුන්ට නැතිවුණ බලය නැවත වතාවක් ලබා ගන්න උසිගන්වනවා, පා ගමන් යනවා, දැන් ලඟදී ඉඳන් ආයේ සභාග රජයවල් ගැනත් කියනවා.හැබැයි මේ රටේ ජනතාව අපිට බලය දීලා තියෙන්නේ ජාතික ආණ්ඩුවක් තුළ මේ රටේ අනාගතය ශක්තිමත් කරන්න මිසක් හිතෙන හිතෙන වෙලාට එකතු වෙන්නයි, ගැලවෙන්නයි නෙමෙයි.මේ පක්ෂ දෙකට මේ අවුරුදු 05 තුළ මේ රට හදන්න කියන වගකීමයි ජනතාව ලබා දුන්නේ.ඒ නිසා ඒ වගකීමෙන් බැහැර වෙන්න අපිට පුළුවන්කමක් නෑ.ඒ වගකීමෙන් අපිට ඈත් වෙන්න පුළුවන්කමක් නෑ.ඒ නිසා තමයි අපි මේ ජාතික ආණ්ඩුවක් විදිහට වැඩ කරලා, අපේ රට හදන්න, ගම හදන්න මේ වැඩ ටික කරන්නේ.හැබැයි මේ ප්‍රධාන පක්ෂ දෙක එකතු වෙලා යනකොට පොඩි පොඩි ප්‍රශ්නත් සිද්ධ වෙනවා.හරියට ගෑණියි- මිනිහයයි වගේ, පවුලක් ගත්තත් ගෑණියි -මිනිහයි හැමදාම හිනා වෙලා ඉන්නේ නෑනේ, සමහර දවස් වලට පොඩි පොඩි අලකලංචි වෙනවා, ඒ වගේ තමයි ප්‍රධාන පක්ෂ දෙකක් එකතු වුණාම අපි සමහර වෙලාවට ඒ ගොල්ලන්ගේ මතයේ නෑ, ඒ ගොල්ල සමහර වෙලාවට අපේ මතයේ නෑ.
.

