ඩී.එස් ලා හිටපු එජාපය අද නෑ :  බණ්ඩාරනායකලා හිටපු ශ්‍රීලනිපයත් අද නෑ - අර්ජුන 

ඩී.එස් ලා හිටපු එජාපය අද නෑ :  බණ්ඩාරනායකලා හිටපු ශ්‍රීලනිපයත් අද නෑ - අර්ජුන 

අද වන විට එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂය හෝ නොමැති බවත් එය සැම දෙනාම පිළිගත යුතු කරුණක් බවත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග පවසයි.

ඔහු මේ බව කියා සිටියේ මව්රට තරුණ සංවිධානය ඉදිරිපත් කළ ගමේ පන්සල ගමට සවියක් ප්‍රජා සත්කාරක වැඩසටහන අද (24) එක් වෙමිනි.

එම වැඩසටහන පෑලියගොඩ මීගහවත්ත ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේදී පැවැත්විණ.

එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ පක්ෂ දේශපාලනය බර වීමෙන් රට විනාශ කරා ඇදී යන බවයි.

“මේ ආණ්ඩුව ගෙනියන්නේ ප්‍රධාන පක්ෂ දෙකක්. එවැනි අවස්ථාවක පොඩි පොඩි ප්‍රශ්න ඇති වෙනවා. නමුත් අගමැතිතුමාටත් ජනාධිපතිතුමාටත් තියෙන වගකීම වන්නේ මේ ප්‍රශ්න විසඳාගෙන ඉදිරියට යාම. විශේෂයෙන්ම පසුගිය මහ මැතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකටම බහුතර බලයක් ලබා දුන්නේ නැහැ. පක්ෂ දෙකම එකතුවී ආණ්ඩු කිරීමට තමයි මහජනතාව බලය ලබා දුන්නේ. ඒ නිසා තමයි ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ පක්ෂ දෙක එකතු කර ගෙන ඉදිරියට යාමේ වගකීම පැවරිලා තියෙන්නේ. එම වගකීම කවුරු හරි කඩ කරනවා නම් එය රටට කරන ලොකු විපත්තියක්. අද ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටයි විශාල වගකීමක් තියෙනවා. එතුමන්ලා මහජනතාවට දුන්න පොරොන්දු ඉටු කළ යුතුයි. තව අවුරුදු එකහමාරක් එතුමන්ලා දෙන්නා එකට එකතු වී වැඩ කළහොත් මේ රට තවත් දියුණු කරන්න පුළුවන්. නමුත් මේ සබඳතාව බිඳින්න අද එක එක දේශපාලනඥයෝ කටයුතු කරනවා. මේ දේශපාලනඥයෝ හැම තිස්සේම උත්සාහ කරන්නේ බලයට ඒමට.

එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහත්තයගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද නැහැ. ඒ වගේම එදා ඩී. එස්. සේනානායක මහතාගේ එක්සත් ජාතික පක්ෂයත් අද නැහැ. කාලෙන් කාලෙට පක්ෂවල වෙනස්කම් ඇති වෙනවා. ඒක අපි හැම දෙනාම පිළිගන්න ඕන. නමුත් මුල් දර්ශනය සමඟ සෑම පක්ෂයක්ම ඉදිරියට යාම තමයි වැදගත් වෙන්නේ. මේ දේශපාලන පරිණත නායකයින්ගේ දැක්ම එක්ක නවීකරණය වුණු පක්ෂ බවට පත් වෙන්න ඕනේ. ඒක හින්දා තමයි මම මේ පක්ෂවලින් අයින් වෙලා මේ රට වෙනුවෙන් මේ පක්ෂ දෙකම එකට තියාගන්න හදන්නේ. මොකද හැමදාම පක්ෂ දේශපාලනය නිස තමයි මේ රට විනාශ වෙලා තියෙන්නේ. අද බලයක් නැති මිනිස්සු වගයක් එකුතුවෙලා, ජාතික ලැයිස්තුවෙන් ඇවිත්, ඇතැම් විට සල්ලි විසි කරලා අද මේ පක්ෂ විනාශ කරන්න හදනවා. රටත් විනාශ කරන්න හදනවා. රට ගැන නොසිතා පක්ෂ දේශපාලනය කරන්න උත්සාහ කරනවා. ඇත්තටම හැම පක්ෂයකම අර්බුද තියෙනවා. හැමෝම බලන්නේ බලයට එන්න. රටේ මේ පක්ෂ දේශපාලනය නැතිවුණු දවසකට හරි පුද්ගලයෝ රටේ පාලනය ගත් දවසක රට හැදෙයි…..” යනුවෙන්ද අමාත්‍ය  අර්ජුන රණතුංග වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

– තමීර මංජු

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න