රාජිත 4 වැනි  කාර්මික විප්ලවයට සූදානම්  !

රාජිත 4 වැනි  කාර්මික විප්ලවයට සූදානම්  !

ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න  ප්‍රකාශ කරයි.
“සිව්වන කාර්මික විප්ලවය හා සෞඛ්‍ය ආවරණය” යන තේමාව යටතේ ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ශ්‍රී ලංකාවට හදුන්වාදීමේ සමුළුවට ඊයේ (24) පස්වරුවේ එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවැසීය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් සමුළුව පැවැත්විනි. ඒ කිංග්ස්බරි හෝටලයේ දීය. 

තෙදිනක් පුරා පැවැත්වෙන මෙම සමුළුව සංවිධානය කරනු ලබන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය, සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය, වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමය ඒකාබද්ධවයි. ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපතිනිය ලෙස සුජාතා සේනාරත්න පත්වීමෙන් පසු පවත්වන ප්‍රථම ජාත්‍යන්තර සමුළුව මෙයයි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - “වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ දැක්ම වන්නේ කොළඹ නගරය ඉන්දියන් සාගරයේ සෞඛ්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමයි. එය සම්පුර්ණ කර ගැනීමට අපට හැකියාව තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය ලෙස ඒ සදහා වැඩපිළිවෙළක් දියත් කර තිබෙනවා. පහලොස්වන ශතවර්ෂය දක්වා ආසියාව ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය බවට පත් වුනා. 17 වන ශතවර්ෂය ආරම්භයේ දී කාර්මික විප්ලවයත් සමග එය බටහිර රටවල් දක්වා ගමන් කළා. සමාජ වෙනස් වුනා. නව ආයතන බිහි වුනා. සමාජවාදය බිහි වුනා. මමත් තරුණ අවධියේ දී සමාජවාදයට නැඹුරු වුනා. 04 වන කාර්මික විප්ලවය ඩිජිටල්, භෞතික සහ ජෛව විද්‍යාත්මක ලෝකය නියෝජනය කරනවා. එය 03 වන කාර්මික විප්ලවයේ දිගුවක්. තාක්ෂණය භාවිත කරනවා. දත්ත විශ්ලේෂණය කරනවා. දැනට පවතින තාක්ෂණය යොදා ගනිමින් විධිමත් සෞඛ්‍ය සේවාවාවක් නිර්මාණය කරනවා. වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මම වැඩබාර ගැනීමේ දී ඖෂධ වර්ග 44 – 75 අතර ප්‍රමාණයක හිගයක් තිබුනා. සියයට 10 ක නාස්තියකුත් තිබුනා. එම තත්ත්වය මගහරවා ගැනීම සදහා තාක්ෂණය භාවිත කරමින් පරිගණක මෘදුකාංගයක් හදුන්වා දුන්නා. සාර්ථකව එය ක්‍රියාත්මක වෙනවා. වර්තමානයේ මාධ්‍ය මගින් ඖෂධ හිගයක් වාර්තා කරන්නේ නැහැ. එමගින් මූල්‍යමය ඉතිරියක් ද අමාත්‍යාංශය ලැබී තිබෙනවා. මූල්‍යමය ඉතිරිය තුලින් ස්ටෙන්ස්, අක්ෂි කාච රෝගීන්ට ලබාදෙනවා. තාක්ෂණය ජනතා යහපත උදෙසා යොදා ගත් එක් අවස්ථාවක් ලෙස එය හැදින්විය හැකියි.”

“වර්තමානයේ භාවිතා වන වෛද්‍ය ක්‍රමය එක් ඖෂධයක් සෑම රෝගියෙකුටම ප්‍රතිකාර කිරීමට භාවිත කරනවා. අනාගත වෛද්‍ය ක්‍රමය එය නොවෙයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට ඖෂධ ලබාදීම වෙනස් වෙනවා. එක් එක් පුද්ගලයාගේ ජාන සංයුතිය විශ්ලේෂණය කරමින් ඖෂධ ලබාදීමයි සිදු වන්නේ.

ජනගහනයෙන් සියයට 40 ක් ජාන වෙනස්වීම් සහිතයි. එකම ප්‍රතිකාරය රෝගියාගෙන් රෝගියාට වෙනස් ආකාරයෙන් ලබාදීම නවතම තාක්ෂණයයි. එම තාක්ෂණය මම ඇමරිකාවේ දී අධ්‍යයනය කළා. ඇමරිකාවේ නීතිරීති පනවා තිබෙනවා ඇතැම් ඖෂධ රෝගීන්ගේ ජාන තාක්ෂණ වාර්තාව නොමැතිව ලබාදීමට නොහැකි  බවට. මෙම ක්‍රියාවලියේ දී නිවැරදි ප්‍රතිකාරය රෝගීන්ට ලබාදෙනවා. වියදම අධික වුවත්, එය ප්‍රතිඵලදායකයි. මේ සදහා මානව සම්පත ද අප සතුයි. ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙල ජෛව වෛද්‍ය රසායනාගාරය තුල සේවය කරන්නේ ශ්‍රී ලාංකික වෛද්‍යවරුන්. මම සෞඛ්‍ය අමාත්‍යාංශය තුලද එවැනි වෛද්‍යවරුන් සිටින්නේ දැයි සොයා බලන විට එවැනි වෛද්‍යවරුන් සිටින බව අනාවරණ වුනා. ලබන වර්ෂය වන විට රජයේ සෞඛ්‍ය සේවාව සදහා ජාන තාක්ෂණ පර්යේෂණාගාරයක් ස්ථාපිත කරනවා. 2019 වර්ෂය වන විට සියලුම රෝහල් පරිගණක ගත කිරීමෙන් පසු ඊ-හෙල්ත් කාඩ්පතක් ජනතාවට හදුන්වා දෙනවා. එවිට පොහොසත් දුප්පත් භේදයකින් තොරව රෝගී සත්කාරක සේවාවන් සිදු කළ හැකියි. නිදහස් සෞඛ්‍ය සේවාව ප්‍රවර්ධනය කිරීම සදහා කළ ආයෝජන වල ප්‍රතිඵල මේ වන විට ලැබී තිබෙනවා. දැනුම හුවමාරු කර ගැනීමට ද හැකියාව ලැබී තිබෙනවා. කොළඹ වරාය නගරය ඉදිකිරීමෙන් පසු ශ්‍රී ලංකාව වෙළෙද මධ්‍යස්ථානයක් බවට පත් වෙනවා. වරාය නගර තුල සෞඛ්‍ය මධ්‍යස්ථාන ද ගොඩනගනවා. ඩිජිටල් සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කිරීමට අපට හැකියාව ලැබෙනවා. මම මුහුණූ පොතේ දැකපු වැකියකින් කථාව අවසන් කරන්නම්. කළින් භාවිතා “කළේ අපි යන්නේ කොයි පාරේ කාල්මාක්ස් ගිය පාරේ” කියලයි. නමුත් වර්තමානයේ “අපි යන්නේ කොයි පාරේ සකර්බර්ග් ගිය පාරේ” කියා මුහුණූ පොතේ සටහන්ව තිබුනා.”

මෙහිදී අදහස් දැක් වූ වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය - “පෙර නොදුටු විරූ ආකාරයෙන් තාක්ෂණික විපර්යාසයක් රට තුල ඇති වී තිබෙනවා. ඩිජිටල් තාක්ෂණ ලෝකයක් බිහි කිරීම අපගේ අරමුණයි. 04 වන කාර්මික විප්ලවය ස්විස්ටර්ලන්තයේ ඩාවොස් හි පැවැති ලෝක ආර්ථික සමුළුවේ දී හදුන්වා දුන්නා. තාක්ෂණය මුලික කර ගත් සෞඛ්‍ය සේවාවක් සහ සෞඛ්‍ය රැකවරණයක් ජනතාවට ලබාදිය යුතුයි. සෞඛ්‍ය රැකවරණය ඉහළ නැංවීම අපගේ උදාර අරමුණයි. එම අරමුණ ලගා කර ගැනීම සදහා මෙම සංගමය සමුළුව සංවිධානය කළා. දැනුම හුවමාරුව සහ සහයෝගිතාවය මෙමගින් පිළිඹිඹු කරනවා. නව සෞඛ්‍ය සංකල්ප හදුන්වා දෙමින් සෞඛ්‍ය සේවාව නංවාදීමට සෞඛ්‍ය අමාත්‍යවරයා පියවර ගෙන තිබෙනවා.”

ප්‍රවේණියක ලක්ෂණ හේතු කොට ගෙන ඇතිවන බෝවන සහ බෝනොවන රෝග දෙවර්ගයම සදහා ජාන වලට අදාලව ඖෂධ නිර්ණය කිරීමේ කටයුතු වල පහසුකම් ඇති කිරිමේ අරමුණින්  සෞඛ්‍ය අමාත්‍යවරයාගේ සංකල්පයක් මත ජාන තාක්ෂණ ඒකකයක් ස්ථාපිත කිරීමට තීරණය කර ඇත.  එය 2019 අයවැය යෝජනාවක් ලෙස නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. 

ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ඇමරිකාවේ මේ වන විට ක්‍රියාත්මකය. වසර 2030 වන විට දැනට පවතින වෛද්‍ය විද්‍යාව වෙනස් වී ජාන තාක්ෂණ වෛද්‍ය විද්‍යාව ක්‍රියාත්මක වනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. පිළිකා තත්ත්වයන් කළින් අනාවරණය කර ගැනිම සහ කළමණාකරණය, බහු සාධක රෝග, මානසික ඌණ වර්ධනය වැනි අසාමාන්‍ය තත්ත්වයන්, තැලසිමියාව, හිමෝෆීලියාව වැනි රෝග තත්ත්වයන් සදහා රෝගියාට ගැලපෙන පරිදි ඖෂධ සකස් කිරීමට මෙම වෛද්‍ය විද්‍යාවට හැකියාව ඇත. තව ද අධිකරණ වෛද්‍ය කටයුතු සදහා ද මෙම වෛද්‍ය විද්‍යාව ඉතා වැදගත් වෙයි. මෙමගින් රෝගී සත්කාර සේවා සදහා වැය වන පිරිවැය ඉතා අඩු වෙයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් චම්පිකා වික්‍රමසිංහ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකා නේවාසික නියෝජිත රාසියා ෆෙන්සේ, ශ්‍රී ලංකා වෛද්‍ය පරිපාලකයින්ගේ සංගමයේ සාමාජිකයින්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් ඇතුලු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න