දෙමළ ජාතික මාධ්‍යවේදීන් ඝාතන සම්බන්ධයෙන් සිදුව ඇති පරීක්ෂණ කටයුතු පිළිබඳව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් පවසයි.
ඝාතනය කළ කිසිදු දෙමළ මාධ්‍යවේදියකු පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැති අතර එම ඝාතන සම්බන්ධයෙන් සෘජුවම චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට එරෙහිව මෙතෙක් නීතිය ක්‍රියාත්මක වී නොමැති බවද මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
මාධ්‍ය නිදහස හා සමාජ වගකීම පිළිබඳ කොළඹ ප්‍රකාශනයට වසර 20ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීම වෙනුවෙන් කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති උත්සවයකට සහභාගි වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළ අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය කිරීම, ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වීම, කීත් නොයාර්ට පහරදීම ආදී ජනමාධ්‍යවේදීන්ට එරෙහිව ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ වුවත් ඒ කිසිවක කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නැති අතර ඒ පිළිබඳව සෑහීමකට පත්විය නොහැකි බවත් මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.
එහිදී සුමන්තිරන් මන්ත්‍රිවරයා මෙසේද පවසා ඇත.
ජනමාධ්‍යවේදීන් පැහැර ගැනීම්, ඝාතනය කිරීම්, වධ හිංසා කිරීම් ගැන කතා කළා. පසුගිය වසර තුන හතරක කාලයේදී එවැනි සිදුවීම් වාර්තා වුණේ නැහැ.
විපක්ෂයේ මන්ත්‍රිවරයෙක් ලෙසත් යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් ලෙසත්පසුගිය වසර 20ක කාලයේදී වැඩිම ජනමාධ්‍යවේදීන් පිරිසක් ඝාතනය වූ දිස්ත්‍රික්කය යාපනය දිස්ත්‍රික්කය බව මා මෙහිදී මතක් කළ යුතුයි.
එක් පුවත්පත් ආයතනයක පමණක් ජනමාධ්‍යවේදීන් 6 දෙනෙක් ඝාතනයට ලක්වුණා. එම පුවත්පත් ආයතනයට ප්‍රහාර33ක් එල්ල වුණා. මගේ මතකය නිවැරැදි නම් දෙමළ ජනමාධ්‍යවේදීන් 14 දෙනකු ඝාතනයට ලක්වුණා.
ඝාතනයට ලක්වූ දෙමළ ජනමාධ්‍යවේදීන් කිසිවකුත් ගැන අද වනතුරු කිසිදු පරීක්ෂණයක් ආරම්භ වී නැහැ. එය කනගාටුවට සහ ලැජ්ජාවට කරුණක්.
තවත් කරුණක් කිව යුතුයි. මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම ගැන කතා කරන විට මාධ්‍යයේ සමාජ වගකීම ගැනත් කතා කළ යුතුයි. මාධ්‍ය නිදහස අත්‍යවශ්‍ය දෙයක්. මාධ්‍ය නිදහස යනු සත්‍ය වාර්තා කිරීමට තිබෙන අයිතිය මිසක් වෙන දෙයක් නෙවෙයි.
එහෙත් අවාසනාවකට අද අපට එය දක්නට ලැබෙන්නේ නැහැ. මාධ්‍ය වගකීම් විරහිත ලෙස හැසිරෙනවා. මාධ්‍ය අසත්‍ය වාර්තා කිරීම්වල නිරත වෙනවා. මා සෘණාත්මක දෙයක් කිව්වා නම් සමාවෙන්න. එහෙත් මා මෙය කිව යුතුව තිබෙනවා.
සාපරාධී අපහාස නීතිය අහෝසි කර තිබෙනවා. ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය අහෝසි කරන්නට ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා. එහෙත් අපට සෑහීමකට පත්වෙන්න බැහැ. අපට කළ යුතු බොහෝ දේවල් තිබෙනවා. අපි සැබෑවටම මාධ්‍ය නිදහස සැමරීම සඳහා කළ යුතු බොහෝ දේ තිබෙනවා. අපට නිදහස් මාධ්‍යයක් තිබෙනවද කියන ප්‍රශ්නය අප හමුවේ තිබෙනවා.

