Language Switcher

V2025

කුමන්ත්‍රණයට සහය දෙන්න බෑ : මනෝ සිරිසේනගේ මූණටම කියලා !

කුමන්ත්‍රණ ආණ්ඩුවට එක්ව සහය දෙන ලෙස  අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයට ජනාධිපතිවරයා විසින් සිදුකළ ආරාධනය ප්‍රතික්ෂේප කළ බව එහි නායක අමාත්‍ය මනෝ ගනේෂන් සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට තමන් මුණගැසීමට පැමිණෙන ලෙස ජනාධිපති සිරිසේන අමාත්‍ය මනෝ ගනේෂන් වෙත ආරාධනා කර ඇති අතර ඒ අනුව අමාත්‍යවරයා ප්‍රමුඛ කණ්ඩායම අද (07) ජනාධිපති නිසා නිවෙසේදී හමුව සිදුව ඇත.
 
තහවුරු කළ ආරංචිමාර්ග සඳහන් කරන ලෙස එහිදී ජනාධිපතිවරයා යෝජනා තුනක් මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රමුඛ පිරිසට යොමුකර ඇත.
 
ඒ අනුව ජනාධිපතිවරයාගේ පළමු යෝජනාව වී ඇත්තේ අමාත්‍ය මනෝ ගනේෂන් ඇතුළු ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන  6 දෙනෙකුගෙන් යුතු කණ්ඩායම සිරිසේන - මහින්ද ආණ්ඩුවට සහයදී එහි අමාත්‍යධුර ලබාගන්නා ලෙසය. 
 
ජනාධිපතිවරයාගේ මෙම පළමු ඉල්ලීම මනෝ ගනේෂන් ප්‍රමුඛ පිරිස එක හෙළාම ප්‍රතික්ෂේප කර ඇත. එහිදී කිසිසේත්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී හැසිරීමට සහය දීමට නොහැකි බව ඔවුන් ජනාධිප්පති සිරිසේනට අවධාරණය කර ඇත.
 
එහිදී නැවතත් දෙවන යෝජනාව ඉදිරිපත් කරමින් සිරිසේන ජනාධිපති සිරිසේන පවසා ඇත්තේ යම් ආකාරයකින් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කළහොත් එහිදී ජන්දය දීමෙන් වැළකී සිටින ලෙසය.
 
ජනාධිපති සිරිසේනගේ එම යෝජනාවද අමාත්‍ය මනෝ ගනේෂන් ප්‍රමුඛ පිරිස එකහෙළාම ප්‍රතික්ෂේප කර ඇත.
 
පසුව ජනාධිපති සිරිසේන යෝජනා කර ඇත්තේ යම් කිසි ආකාරයකින් විශ්වාසභංග යෝජනාවක් ජය ගන්නට එක්සත් ජාතික පෙරමුණට අවස්ථාව ලැබුණහොත් එහිදී රනිල් වික්‍රමසිංහ නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත්වීම වළක්වා ගැනීමට සහය දෙන ලෙසය.
 
මෙහිදී මනෝ ගනේෂන් අමාත්‍යවරයා ප්‍රමුඛ නියෝජිත පිරිස සඳහන් කර ඇත්තේ "එවැනි එකඟතාවක් මේ මොහොතේ කොහෙත්ම ලබාදිය නොහැකි බවත්, එය ජනාධිපති සමඟ සාකච්ඡා කර ගන්නා තීන්දුවක් නොව තම පක්ෂය විසින් සාකච්ඡා කර ගතයුතු තීන්දුවක් බවය.
 
සිරිසේන යන්නෙ කොයි පාරේ : රාජපක්ෂ ගිය පාරේ 
 
මෙයින් පෙනී යන්නේ ජනාධිපතිවරයා මේ වන විට සිය පෞද්ගලික අභිලාශය මත  එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පාර්ශව කැඳවා එය සඵල කර ගැනීමේ උත්සාහයක නිරතව සිටින බවය. එහෙත් අමාත්‍ය මනෝ ගනේෂන් පාර්ශවය එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ උත්සාහය ව්‍යර්තව ගොස් ඇත. එපමණක් නොව පසුගිය (05) ජනාධිපති සිරිසේන පාර්ලිමේන්තු වට රවුමේ සිට මහ හයියෙන් රටට කියා ඇත්තේ පට්ටපල් බොරුවක් බවද මේ හරහා ඔප්පු වෙයි. 
 
එනම් මේ වන විටත් සිරිසේන - මහින්ද කුමන්ත්‍රණ ආණ්ඩුවට 113 ක පාර්ලිමේන්තුවේ බහුතර බලය ඇතැයි පැවසීමය.
 
එදා රාජපක්ෂ රෙජීමයට අදාළව පැවති චෝදනාවක් වූයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයට මන්ත්‍රීවරුන් බිළිබා ගැනීමය. එහෙත් මේ වන විට සිරිසේන ජනාධිපති ඒකාධිපති වියරුවේ තවත් පියවරක් ඉදිරියට තබා ඇත. ඒ පක්ෂ අභ්‍යන්තර තීන්දු තීරණත් තම පෞද්ගලික අපේක්ෂාවන්ට අවශ්‍ය ආකාරයට හසුරවන්න පටන් ගෙනය. 
 
මේ සම්බන්ධව මනෝ ගනේෂන් අමාත්‍යවරයා තබා තිබූ ට්වීටර් සටහන පහත දැක්වේ.
 
45500567 2737382632940366 290740707226812416 n