සර්ව පාක්ෂික නායක හමුවේ තීරණය : අස්ථාවර රටක් ! කන්න නැති හෙටක් !

 සර්ව පාක්ෂික නායක හමුවේ තීරණය :  අස්ථාවර රටක් ! කන්න නැති හෙටක් !

ජනාධිපති සිරිසේන විසින් අද (18) කැඳවා තිබූ සර්ව පාක්ෂික නායක හමුව කිසිඳු තීරණයක් නොමැතිව අවසන්ව ඇති බව වාර්තා වෙයි.

එහිදී හමුව අවසන් කර එළියට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පවසා සිටියේ එක්සත් ජාතික පෙරමුණ තම පාර්ශවයෙන් පාර්ලිමේන්තුවේ බහුතරය ඇති බව සඳහන් කළ බවය.
 
113 පෙන්වන්න එජාපෙ සූදානම් !
 
එහිදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා 113ක බහුතරය ඔප්පුකර පෙන්වන ලෙස අභියෝග කළ බවත් ඒ අවස්ථාවේ තම පාර්ශවය හෙට (19) උදෑසන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දිව්රුම් ප්‍රකාශ 113ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් සමඟ අවශ්‍ය නම් අදාළ මන්ත්‍රීවරුන් සමග ජනාධිපතිවරයා මුණගැසීමට සූදානම් බව පැවසු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා පැවසීය.
 
වැඩිදුරටත් ඒ පිළිබඳ මාධ්‍යවේදීන් සිදුකළ කරුණු විමසීමේදී අජිත් පී. පෙරේරා මන්ත්‍රීවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තම පාර්ශවයේ යෝජනාවට එතරම් එකඟත්වයක් නොදැක්වූ බවය. 
 
දෙවරක් විශ්වාස භංග වූ හොර අගමැති සිරිසේනට තවමත් අගමැති !
 
එසේම එහිදී ජනාධිපතිවරයා දැක්වූ අදහස් මාධ්‍ය වෙත පැවසීම මන්ත්‍රීවරයා ප්‍රතික්ෂේප කළ අතර කෙසේ වුවත් මේ වන විට  දෙවරක් පාර්ලිමේන්තුව තුළ විශ්වාසභංග යෝජනා සම්මත කළ ජනාධිපතිවරයා පත්කළ අගමැති මහින්ද රාජපක්ෂව පරාජය කර ඇති බැවින් දැන් අග්‍රාමාත්‍යවරයෙකු හෝ අමාත්‍ය මණ්ඩලයක් නොමැති බවත් රට බරපතල ලෙස අස්ථාවර වී ඇති බැවින් එම තත්ත්වය තවත් වර්ධනය නොකර පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වන පාර්ශවයට අග්‍රාමාත්‍ය ධුරය ලබාදෙන ලෙස තම පාර්ශවය ජනාධිපතිට යෝජනා කළ බවද  ඔහු පැවසීය.
 
අදාළ හමුවේදී තම පාර්ශවයට තිබුණේ යෝජනා ඉදිරිපත් කිරීම පමණක් බවත් මේ මොහොතේ රට අරාජික නොකර  ව්‍යවස්ථානුකුල තීන්දුව ජනාධිපතිවරයා අද රාත්‍රියේ හෝ ගනු ඇතැයි තම පාර්ශවය විශ්වාස කරන බවද අජිත් පී.පෙරේරා මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.
 
අර්බුදයේ මැවුම්කරුවා සිරිසේන මිස අනෙකෙකු නොවේය !
 
ඒ අනුව පෙනී යන්නේ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුවක් ඇටවූ ජනාධිපති සිරිසේනගේ නොහික්මුණු සහ ආඥාදායක ස්ථාවරය හේතුවෙන් රට තුළ බරපතල අරාජිකත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බවය. එසේම ඔහු නිල ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයාවූ රනිල් වික්‍රමසිංහ සමඟ ඇති බව කියන සංස්කෘතික නොගැළපීම නිසා දෙකෝටියකට අධික ජනතාවටම ඊට වන්දි ගෙවීමට සිදුව ඇති බවය. 
 
එහිදී සිහිපත් කළ යුතු වැදගත් කාරණයක්ද ඇත. ඒ සිරිසේන ජනාධිපතිට මේ සංස්කෘතික නොගැළපීම් සිහිපත් වුයේ ඔහු යළිත් ජනාධිපතිවීමට එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකත්වය ඉල්ලා එය ප්‍රතික්ෂේප කිරීමත් සමඟ බවය. ඒ අනුව මේ රට අද අරාජිකව ඇත්තේ සිරිසේනගේ සහ රාජපක්ෂගේ වියරු බල තන්හාව නිසා බව පැහැදිළිය.
 
කෙසේ නමුත් මේ සම්බන්ධව අප සමාජය අවධානයට ගත යුතු සුවිශේෂ කාරණයක්ද ඇත.
 
රට අරාජික පමණක් නොව දරුණු ආර්ථික අවධානමක !
 
ඒ  එළඹෙන නව වසරේ මෙරටට දැඩි ආර්ථික අර්බුදයකට පත්වීමේ අවධානම පවතින අතර මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන ණය සහනාධාර අත්හිටුවා ඇත. එසේම කිසිඳු විදෙස් රටක් මේ සිරිසේන අටවාගත් කුමන්ත්‍රණ ආණ්ඩුව නිල පිළිගැනීමකට ලක්කරද නොමැත.
 
අද පැවති සර්ව පාක්ෂික නායක හමුවට සහභාගීවීම ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ සඳහන්කර සිටියේ ඔක්තෝබර් 26 වනදා  ව්‍යවස්ථා විරෝධී තීරණයක් අරගෙන මෙම අර්බුදය මතු කළ  සිරිසේන ජනාධිපතිම එය විසඳිය යුතු බවය. ඒ සඳහා විසඳුම තවත් ව්‍යවස්ථා විරෝධී නොවී පාර්ලිමේන්තුවේ බහුතරය ඇති පාර්ශවට අග්‍රාමාත්‍ය ධුරය ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලය භාරදීමය. 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න