2019 වසරේ ජනවාරි පලවෙනිදා සිට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ඇතුළු රාජ්‍ය වියදම් කිසිවක් සිදුකිරීමට නොහැකිවීමේ අවධානමක් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 ව්‍යවස්ථාව අනුව රාජ්‍ය මුල්‍ය පිළිබඳ සම්පුර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 50 (03)ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත නව පාර්ලිමේන්තුවක් වෙනුවෙන් මාස තුනක කාලයක් සඳහා අරමුදල් වියදම් කිරීමේ සීමිත ප්‍රතිපාදන ඇතුලත් වූවද විධායකයට රාජ්‍ය අරමුදල් වියදම් කිරීම සඳහා කිසිදු ඉඩ කඩක් ව්‍යවස්ථාවේ නොමැතිවීම මීට හේතුව බවත් මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
මංගල සමරවීර මන්ත්‍රීවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ ඊයේ (20) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
වීඩියෝ -
එසේම මේ සම්බන්ධව වැඩිදුරටත් කරුණු දක්වමින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද මන්ත්‍රීවරයා අද (21) නිකුත්කර ඇත. පහත දැක්වෙන්නේ එම නිවේදනයයි.
ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය !
සිරිසේන රාජපක්ෂ හවුල විසින් දියත් කරන ලද “කුමන්ත්‍රණය” යටතේ එවකට ක්‍රියාත්මක වූ නීත්‍යානුකූල අගමැතිවරයාත් අමාත්‍ය මණ්ඩලයත් ඔක්තෝබර් 26 දින අහෝසි කරනු ලැබීය. එම ක්‍රියාවෙන් නොවැම්බර් 05 දිනට ඉදිරිපත් කිරීමට තිබූ 2019 වාර්ෂික අයවැය ද වලකාලන ලදී. ඉන් ශ්‍රී ලංකාවත් රටේ පුරවැසියනුත් මින් පෙර නොවු විරූ අර්බුධයකට ඇද හෙලනු ලැබීය.
පාර්ලිමේන්තුව තුළදී අනුගමනය කළ යුතු සියලු නීති විධිවිධාන අනුගමනය කොට හා ව්‍යාවස්ථාවේ 48(2) වගන්තිය අනුව, ඔක්තෝම්බර් 26 දින පත් කරනු ලැබූ ඊනියා අගමැතිවරයා ද අමාත්‍ය මණ්ඩලයද නීත්‍යානුකූල නොවන බව කථානායකවරයා ප්‍රකාශ කර ඇත.
රාජ්‍ය මුල්‍ය වගකීම පාර්ලිමේන්තුවට මිස සිරිසේනට නොවේ !
අපගේ ව්‍යාවස්ථාවේ 148 වගන්තිය අනුව “රාජ්‍ය මුදල් පිළිබඳ සම්පූර්ණ පාලනය පාර්ලිමේන්තුව සතු වන්නේය” නීත්‍යානුකූල රජයක් නොපවතින තත්වයක් තුළ 2019 වර්ෂය සඳහා රාජ්‍ය වියදම් දැරීම පිණිස නීත්‍යානුකූල ක්‍රමවේදයක් නොමැති වීමේ භයානක තත්වයක් උද්ගත වී ඇත. පාර්ලිමේන්තුවෙන් රාජ්‍ය වියදම් අනුමත කරවා ගැනීම හැරුණු කොට වෙනත් විකල්ප ක්‍රමවේදයන් අපගේ ව්‍යාවස්ථාවේ දක්නට නොමැත. ව්‍යාවස්ථාවේ 150 (3) වගන්තිය ප්‍රකාරව නව පාර්ලිමේන්තුවක් කැඳවන දිනයේ සිට මාස 03 ක් දක්වා රාජ්‍ය වියදම් දැරීමට අදාලවන අතීශය සීමිත ඉඩකඩක් ජනාධිපතිවරයාට පවරා ඇති නමුත් ඒ හැර වෙනත් විකල්ප ක්‍රමයක් ව්‍යාවස්ථාවේ දක්නට නොමැත. එබැවින් මෙම සන්ධර්භය තුළ 2019 ජනවාරි 01 දා සිට නව පාර්ලිමේන්තුව කැඳවන දිනය දක්වා රාජ්‍ය වියදම් දැරීමට ඉඩකඩක් නොමැත.
මුදල් ඇමතිවරයා වශයෙන් 2018 දෙසැම්බර් 31 දක්වා රාජ්‍ය සේවාවන් සඳහා අවශ්‍ය අරමුදල් ප්‍රතිපාදන දැනටමත් මා විසින් සලසා දී ඇත. පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද්දා වූ රාජ්‍ය වියදම් නොමැති තත්වයක් තුළ 2019 ජනවාරි 01 දා සිට ශ්‍රී ලංකාව දැඩි අර්බුදකාරී තත්වයකට ඇද වැටෙනු ඇත.
පාර්ලිමේන්තුවේ ප්‍රමාණවත් බහුතරයක් සහිත නීත්‍යානුකූල රජයක් පැවතියේ නම් 2019 ප්‍රථම මාස 03 සඳහා රාජ්‍ය වියදම් ආවරණය වන අකාරයට අඩු තරමින් අතුරු සම්මත ගිණුමක් හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත්කොට අනුමත කරගත හැකිව තිබුණි. ඒ අනුව රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා ණය සේවාකරණ ආදී වියදම් බාධාවකින් තොරව දැරිය හැකිව තිබුණි.
එසේ වුවත් 2019 වර්ෂයට ප්‍රථම මාස 03 සඳහා රාජ්‍ය වියදම් දැරීමට අතුරු සම්මත ගිණුමක් අනුමත කර ගැනීම පිණිස පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් සහිත රජයක් පිහිටුවා ගැනීම සඳහා තවදුරටත් ඉඩකඩ පවතී.
2019 රාජ්‍ය වියදම් අනුමත කරගැනීමේ ප්‍රශ්නයක් !
නීත්‍යානුකූල නොවන ඊනියා රජයට පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැත. ඔවුන් මැරබලය හා හිංසනය භාවිතා කරමින් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ආසන මංකොල්ලකාරී ලෙස බලෙන් අත්පත් කරගෙන ඇත. අතුරු සම්මත ගිණුමක් අනුමත කර ගැනීමට ප්‍රමාණවත් බහුතරයක් සකස්කර ගැනීමට ඔවුන්ට හැකියාවක් නොමැත. 2019 වර්ෂය සඳහා වියදම් අනුමත කර ගැනීමට නීත්‍යානුකූල රජය විසින් ගැනීමට නියමිත පියවරයන් ද ඔවුන් විසින් බලහත්කාරයෙන් වලකා ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 150(2) වගන්තියට අනුව රජයේ අරමුදල් නිකුත් කිරීමට අදාළ වොරන්ට් බලපත්‍රය අත්සන් කළ හැක්කේ නීත්‍යානුකූල මුදල් ඇමතිවරයෙකුට පමණි. ව්‍යාවස්ථාවේ 48(2) වගන්තියට අනුව නොවැම්බර් 16 දා කථානායකවරයාට දෙන ලද තීන්දුවට අනුව ඊනියා රජය, එහි මුදල් ඇමතිවරයා හා ඇමති මණ්ඩලය පැවතිය නොහැක්කේය.
රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි වැනි සුභසාධක දීමනා හා ණය සේවා කරණ සියල්ල නවතී !
සිරිසේන - රාජපක්ෂ කුමන්ත්‍රණ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස 2019 ජනවාරි 01 දා සිට සිදුකරන රාජ්‍ය වියදම් නීත්‍යානුකූල නොවන තත්වයක් උද්ගතවී ඇත. එම නීත්‍යානුකූල නොවන රාජ්‍ය වියදම් දැරීමට රාජ්‍ය නිලධාරීන්ටද බලයක් නොමැත. එබැවින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි වැනි සුභසාධක දීමනා හා ණය සේවා කරණ වැනි තීරණාත්මක වියදම් දැරීමට ඉඩකඩක් නොමැත.
ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවේ 48(2) වගන්තියට අනුව කථානායකවරයා විසින් දෙනු ලැබූ තීන්දුව යටතේ ඊනියා අගමැතිවරයාද අමාත්‍යමණ්ඩලය ද නීත්‍යානුකූල නොවේ. එබැවින්, ව්‍යාවස්ථාවේ 52(3) වගන්තියට අනුව සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්ට එම ධූරයන් දැරිය නොහැක. එම තත්වය යටතේ ඔවුන් කිසියම් පියවරක් ගන්නේ නම් එකී ඒවාද නීත්‍යානුකූල නොවේ. එමෙන්ම එවැනි පියවර ගැනීම නීති උල්ලංඝනය කිරීමක් ද වේ. එබැවින් පොදු දේපළ නීතිය ද ඇතුළත් අදාළ නීති යටතේ ඒවා දඞුවම් ලැබිය හැකි වරදවල් වන්නේය.
රට ආර්ථික අගාධයක් අභිමුව !
ඔක්තෝබර් 26 දිනෙන් අනතුරුව සිදු වූ ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව මෙතෙක් නොදුටු ආර්ථික හා සමාජ අර්බුධයකට නතුවෙමින් පවතී. හුදු පෞද්ගලික එදිරිවාදිකම් මත පදනම් වෙමින් ජනාධිපතිවරයා විසින් ඔක්තෝම්බර් 26 දා ගනු ලැබූ දුෂ්ට හා වගකීම් විරහිත පියවරයන් නිසා ණයසේවාකරණ පිළිබඳ අනවශ්‍ය බැරෑරුම් අර්බුධයකට ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවිය හැකිය. රාජපක්ෂ රජය විසින් 2014 ජනවාරි මසදී ගන්නා ලද එක්සත් ජනපද ඩොලර් බිලියන 01 ක් (මිලියන 1000 ක් ) තරම් විශාල ණය මුදලක් 2019 ජනවාරි මස මුලදී ආපසු ගෙවීමට නියමිතව තිබේ. එම ගෙවීම් සඳහා වියදම් අනුමත කරවා ගත යුත්තේ පාර්ලිමේන්තුව මගින්ය.
ශ්‍රී ලංකාව මේ දක්වා ස්වකීය ණය මුදල්වලින් සතයක්වත් ආපසු නොගෙවා පැහැර හැර නොමැත. ලෝක වෙළෙඳපොළ තුළ ශ්‍රී ලංකාව කෙරේ පවත්නා විශ්වාසනීයත්වය ඔක්තෝම්බර් 26 දින ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් යලි පිළිසකර කිරීමට නොහැකි ලෙස පලුදු වී ඇත. එමගින් අනාගතයේ ණය ආපසු ගෙවීම් පිළිබඳවද ශ්‍රී ලංකාව අනතුරකට පත් කර ඇත. මෑත කාලයේ ග්‍රීසිය මුහුණ දුන් මහා ආර්ථික පරිහානිය වැනි දරුණු ආර්ථික ආගාධයකට ශ්‍රී ලංකාව දිනෙන් දින තල්ලුවෙමින් පවතී. එබැවින් ඔක්තෝම්බර් 26 දිනට ප්‍රථම පාර්ලිමේන්තුවේ පැහැදිළි බහුතරය හා විශ්වාසය දිනා සිටි අගමැතිවරයා හා එම රජය යලිත් ජනාධිපතිවරයා විසින් නිසිලෙස ස්ථාපනය කිරීම මෙම අවාසනාවන්ත හා අතීශය අර්බුධයෙන් ශ්‍රී ලංකාව ගොඩගැනීමේ ඇති ඒකායන මාර්ගයයි. ඒ අනුව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව රැකගැනීමටත්, පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවය තහවුරුකර ගැනීමටත්, දිනෙන් දින අගාධයට ගමන් කරමින් තිබෙන ශ්‍රී ලංකා ආර්ථිකය බේරා ගැනීම පිණිසත් සියලු දේශපාලන එදිරිවාදීකම් පසකලා පොදු මහජන සුබසිද්ධිය ප්‍රාර්ථනා කරන සෑම පුරවැසියෙකුම මේ දුර්දාන්ත බලවේගයන්ට එරෙහිව ඉදිරියට පැමිණි යුතු කාලය එලඹ ඇත.

