ප්‍රජාතන්ත්‍රවාදය රකින පුළුල් පෙරමුණකට : ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් - මනුෂ 

ප්‍රජාතන්ත්‍රවාදය රකින පුළුල් පෙරමුණකට : ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායමක් සූදානම් - මනුෂ 

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ සදහා එක්සත් ජාතික පෙරමුණ ඇතුළු පුළුල් සන්ධානයකින් තරග කරන විට එයට එක්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායම් සූදානමින් සිටින බවත් රස්තියාදුකාර දේශපාලනයට රට තුළ ඉඩක් ලබා නොදෙන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර  පැවසීය.

ඇමැතිධූරයෙන් ඉවත්වීමෙන් පසුව පළමු වරට එක්සත් ජාතික පක්ෂයේ රැළියකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේය. 

එක්සත් ජාතික පක්ෂ ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව ගාල්ල දිස්ත්‍රික් නායක වජිර අබේවර්ධන මහතාගේ නිවසේදී පැවති අතර එහිදී මනුෂ නානායක්කාර මහතා මේ බව පැවසුවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මනුෂ නානායක්කාර මහතා මෙසේද පැවසුවේය.

කාලෙකට පස්සේ ප්‍රියතාවයකින් යුතුව කතා කිරීමට අවස්ථාවක් මට ලැබුණා. ඇත්තටම ආදරය කරන ජනතාවක් ඉදිරියේ කතා කිරීමට අවස්ථාව ලැබෙන එකත් පිනක්.

අපිට හුස්ම ගන්න ඔක්සිජන් ඕන. ඔක්සිජන් නැතිවුනාම අපිට හුස්ම ගන්න විදියක් නැතිව මැරෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයත් මේ වගේ තමයි. ප්‍රජාතන්ත්‍රවාදය තියෙනකොට අපිට ඒකේ අගයක් නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නැතිවුනාම තමයි අපිට ඒකේ වටිනාකම දැනෙන්නේ. පහුගිය අවුරුදු තුනහමාර තුළ අපිට නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය තිබුණා.අපිට එහි අගයක් තිබුණේ නෑ.  ජනවාරි 8 වැනිදා ඔබ ඉල්ලුවේ නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, සුදුවෑන් නතර කරන්න කියලයි. ඒ දේවල් පසුගිය කාලයේදී ඉටු කළා. ඒත් දැන් නැවත ප්‍රජාතන්ත්‍රවාදය අනතුරේ වැටිලා. නීතිය පැත්තකට දාලා සුපුරුදු රස්තියාදුකාර දේශපාලනයට රට ගෙනයන්න හදනවා. මේ නිසා තමයි ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් අපි තීරණයක් ගත්තේ. අපි ඒ රස්තියාදුකාර දේශපාලනයට ඉඩක් දෙන්නේ නෑ.

රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට විරුද්ධව දැන් ටික කාලයකට කලින් විශ්වාසභංග යෝජනාවක් අරගෙන ආවා. ඒ වෙලාවේදීත් අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය ලබාදෙමින් විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කළා. මේ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන්න කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් පාලන මැතිවරණය පරාජයට පත්වෙලා තිබුණේ. ඒ වෙලාවෙත් මේ විදියට කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වුනා. රනිල්ට විශ්වාසභංගයක් ගෙනැත් හොර පාරෙන් මහින්ද රාජපක්ෂ අගමැති කිරීමේ සැලසුමක් ක්‍රියාත්මක වුනා. නිමල් සිරිපාල ද සිල්වා තාවකාලික අගමැතිවරයා විදියට පත් කරනවාය කියන කතාව එස්.බී. දිසානායක ඇමැතිවරයාගේ කටින් එළියට පැන්නා. ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා අපිට තේරුනා. ඒකට විරුද්ධව මම, දුමින්ද දිසානායක ඇමැතිතුමා ඇතුළු කණ්ඩායම තැන තැන හමුවෙන්න ගත්තා. පටන්ගන්නකොට අපි දෙන්නයි, තුන්දෙනයි හිටියේ. ඒත් විශ්වාසභංගය ඉදිරිපත් කරන අවස්ථාව වන විට හිටියේ නම දෙනෙයි. විශ්වාසභංගයට ඡන්දය ගන්න වෙලාව වන විට අපිට ඒ සංඛ්‍යාව විසි තුන දක්වා වැඩි කරගැනීමට හැකිවුනා.

ඒ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්න හැදුවා.ඊට පස්සේ අගමැතිකමින් අයින් වෙන්න කියලා පණිවුඩ යැව්වා. එහෙම අයින් කරගන්න බැරිවෙනකොට බැසිල්ලා, මෛත්‍රීලා, එස්.බී. ලා තැන් තැන්වල කුමන්ත්‍රණ කරන්න ගත්තා. නීත්‍යානුකූල  ක්‍රමයෙන් ඉවත් කරන්න බැරිවෙනකොට නීති විරෝධිව රනිල් වික්‍රමසිංහ මහත්තයා අයින් කරන්න උත්සාහ ගත්තා. ඒ කුමන්ත්‍රණය සිදුවෙනකොට වජිර අබේවර්ධන ඇමැතිතුමයි, මමයි, රනිල් වික්‍රමසිංහ මහත්තයයි ගාල්ලේ උත්සවයකට සහභාගීවෙමින් සිටියා. මට ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කතා කරලා ඉක්මනින් කොළඹ එන්න කියලා කිව්වා. මම උත්සවය ඉවර වෙලා කොළඹට යනකොට ඒ රැස්වීම ඉවරයි. මම ගෙදර එනකොට මෙන්න මහින්ද රාජපක්ෂ අගමැති විදියට දිවුරුම් දෙනවා ටී.වී. එකේ පෙන්නනවා. ඒක අපි දන්නේ නෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න ආපු දුමින්ද දිසානායක ඒ බවක් දන්නේ නෑ. කුමන්ත්‍රණකාරී විදියට යමු අපි දෙන්නා හද පානේ කියාගෙන දෙන්නා අගමැතියි ජනාධිපතියි බවට පත්වුනා. මේකේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදය මොකක්ද? පාර්ලිමේන්තුවේ මහින්ද රාජපක්ෂට බහුතරයක් තියෙනවාද කියලා ඇහුවද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට අකමැති අය ඉන්නවාද කියලා ඇහුවද?  මේ කිසිම දෙයක් අහන්නේ නැතිව තමයි ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කරලා අලුත් අගමැතිවරයෙක් පත් කළේ.

අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසභංග යෝජනාවක් ගේන්න ඕන, එහෙම නැතිව අගමැතිවරයා ඉවත් කරන්න බෑ කියලා සුසිල් ප්‍රේමජයන්තයි, ජී.එල්. පීරිස් මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියනවා. අපිත් කියන්නේ ඒකම තමයි. අගමැතිවරයෙක් ඉවත් කරන්න නම් විශ්වාසංභග යෝජනාවක් ගේන්න ඕන. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉවත් කරන්න ගෙනාපු විශ්වාසභංග යෝජනාව කෝ? ඔහු ඉවත් කළේ කොහොමද? වැරදි ක්‍රමයට, නීති විරෝධිව කරපු මේ ක්‍රමයට විරුද්ධව තමයි අපි නැගී සිටියේ. මේ වෙලාවේ අපි කණ්ඩායමක් එකතුවෙලා සාකච්ඡා කළා. මේකට විරුද්ධව ගන්න ඕන ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කළා. අවසානයේදී අපිට නොයෙක් බලපෑම් එල්ලවුනා. සමහර මැර මන්ත්‍රීවරු ගෙදරට ඇවිත් ඇමැතිකමක දිවුරුම් දෙන්න එක්කගෙන යන්න හැදුවා. ඒ වෙලාවේ තමයි වජිර අබේවර්ධන ඇමැතිතුමා කතා කරලා අමතර ආරක්ෂාවක් ඕනද කියලා ඇහුවේ. ගයන්ත ඇමැතිතුමා දැන් අපේ පැත්තට එනවා නේද කියලා ඇහුවා. වජිර ඇමැතිතුමා මාව වාහනයේ දාගෙන කාටත් හොරාට ගිහින් රනිල් වික්‍රමසිංහ හමුවීමට ගියා. අවශ්‍ය වේලාවට තීන්දු තීරණ ගන්න පොරොන්දු වුනා. මේ වෙලාවේ මම තනියම එන්නද කියලා ඇහුවම කණ්ඩායමත් එක්ක එන්න කියලා කිව්වා. කණ්ඩායමත් එක්ක එන්න හදනකොට කණ්ඩායම පොඩ්ඩක් පස්ස ගැහුවා. ඒ පස්සේ තීරණයක් අරගෙන එන්නයි

ඒත් මේ වෙලාවේ එක්සත් ජාතික පක්ෂයේ සමහරු සල්ලිවලට ආණ්ඩුවට යන්න අරගෙන තිබුණේ. තවත් එක්කෙනෙක් හරි සල්ලිවලට ගියොත් කියලා හිතපු නිසා මම අවධානම අරගත්තා. මුස්ලිම් කොංග්‍රසයේ අය, රිෂාඩ් බදියුදීන්ලා ඇමැතිධූරවල දිවුරුම් දෙන්න සූදානමක් තියෙනවා කියලා කිව්වා. මේ වෙලාවේ තනියම හරි එන්න කියලා මට කිව්වා. මම බිල්ලට එන්නම්, දුවන කෝච්චියට බෙල්ල තියලා නවත්තන්නම් කියලා මම තනියම තීන්ව ගත්තා. ඒ තීන්දුව ගත්තේ එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරන්න. ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්නයි.

එක්සත් ජාතික පක්ෂය කියලා කියන්නේ මම හැදුන තැන. මගේ තාත්තා මාව හදපු තැන. එක්සත් ජාතික පක්ෂය කියන්නේ මගේ තාත්තා ජීවිතය පූජා කරලා ආරක්ෂා කරපු පක්ෂය. රකින්න ඕන වෙලාවට එන්නේ නැතිනම් වැඩක් නෑ. මම පක්ෂය රකින්න ඕන වෙලාවට, පක්ෂය අමාරුවේ වැටෙන වෙලාවේ පක්ෂය  ආරක්ෂා කරන්න මම තීරණයක් ගත්තා.

දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුත් තීරණයක් ගන්න හදන්නේ. කොළඹ නව නගරශාලාවට එක්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු සහ ආසන සංවිධායකයින් එකතු වෙනවා. ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකට එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ පුළුල් සන්ධානයක් ගොඩනගන විට එයට එක්වී තරග කිරීමට මේ කණ්ඩායම් සාකච්ඡා කරනවා. තව මන්ත්‍රීවරු, සංවිධායකවරු, පළාත් පාලන මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එකතුවෙනවා. අපි සියලුම වාද භේද  අමතක කරලා, ශක්තිමත් එක ගමනක් ඉදිරියට යමු. 

මේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  වජිර අබේවර්ධන, ගයන්ත කරුණාතිලක, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර,  බන්දුලාල් බණ්ඩාරිගොඩ, විජේපාල හෙට්ටිආරච්චි යන මහත්වරු ඇතුළු පළාත් සභා මන්ත්‍රීවරු, ආසන සංවිධායකවරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න