එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් පක්ෂය ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති ප්‍රමුඛ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම අද (26) අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා ඇත.
එහිදී අදාළ පෙත්සම එළඹෙන 30 වැනිදා සහ දෙසැම්බර් 3 වැනි දා සළකා බැලීමට පියවර ගන්නා බව අභියාචනාධිකරණය නියම කර ඇත.
එම දිනට පෙර නඩුවට අදාළ ලේඛන වගඋත්තරකාර පාර්ශවය වෙත ලබාදීමට පියවර ගන්නා මෙන් ද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන් වෙත දන්වා තිබේ.
පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවත්ය.
මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 13 වැනි සංශෝධනය ප්‍රකාරව ඔහුට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව පෙත්සම්කරුවෝ කියා සිටියහ.
මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කර ඔහුගේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබේ.
මෙහි වගඋත්තරකරුවන් ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු 49 දෙනෙකු නම් කර තිබේ.

