තව අවුරුද්දයි : ආණ්ඩු කුමන්ත්‍රණයට සිරිසේන හිරේ - අජිත්.පී පෙරේරා

තව අවුරුද්දයි : ආණ්ඩු කුමන්ත්‍රණයට සිරිසේන හිරේ - අජිත්.පී පෙරේරා

ජනාධිපති සිරිසේන දියත්කර තිබෙන නීතිවිරෝධි ව්‍යවස්ථා විරෝධි ක්‍රියා පිළිවෙත වහාම නතර කලයුතු බවත් එසේ නොවුනහොත් තව වසරකින් ඔහුගේ ධූරකාලය අවසන්වීමත් සමඟ රටේ සිවිල් සහ අපරාධ නීතියට යටත් වීමට සිදුවෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී.පෙරේරා අවධාරණය කරයි.

මන්ත්‍රීවරයා මේ බව අවධාරණය කර සිටියේ අද (27) අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍යහමුවකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.

"මම සිරිසේන ජනාධිපතිට කියන්නේ, ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නඩු පැවරීමට නොහැකි තත්වය එනම් මුක්තිය පවතින්නේ ඔබ ජනාධිපතිධූරයේ සිටින තාක් කල් පමණයි. එම කාලය තව වසරකින් අවසන් වෙනවා. ඉන්පසුව ඔබ සාමාන්‍ය පුරවැසියෙකුගේ තත්වයට පත්වෙනවා. එවිට ඔබතුමාටත් රටේ සිවිල් සහ අපරාධ නීතියට යටත් වීමට සිදුවෙනවා. එම නිසා මේ අඛණ්ඩව සිදුකරගෙන යනු ලබන නීතිවිරෝධි ව්‍යවස්ථා විරෝධි ක්‍රියා පිළිවෙත වහාම නතර කරන ලෙස ඉල්ලා සිටිනවා. මෙය අපිව නැවත බලයට පත්කරන උත්සාහයක් නොවෙයි. මේක මේ රටේ පාර්ලිමේන්තුවට වගකිව යුතු විධිමත් පාලනයක් ඇතිකිරීම සඳහා වන උත්සාහයක් බව කිව යුතුයි."  

"ඔක්තෝබර් 26 දායින් පසුව පත්කරන ලද නීති විරෝධි අගමැතිවරයා සහ කැබිනට් මණ්ඩලය මගින් රජයේ හා සංස්ථාපිත මණ්ඩල හා රාජ්‍ය අනුබද්ධ ආයතනයන්හි සිදුකොට ඇති නීති විරෝධි පත්කිරීම් හා ලබාදී ඇති උසස්වීම් සියල්ල තම රජයක් යටතේ අවලංගු කිරීමට පියවර ගන්නා බැව් පා.ම අජිත් පෙරේරා මහතා අද අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවේදී පැවසීය. තවද ඊනියා කැබිනට් මණ්ඩලය විසින් තරඟකාරී හා පිළිගත් ටෙන්ඩර් පටිපාටියකින් තොරව කොළඹවරායේ ඩොලර් මිලියන 100 කට වඩා වැඩි වටිනාකමකින් යුත් ප්‍රධාන කොන්ත්‍රාත් දෙකක් චීන සමාගමකට පවරා ඇතැයි ද පැවසූ ඒ මහතා අනීතිකව සිදු කළ ඇති ඒ සියලූ කටයුතු නිසා රජයට හා මහජනතාවට සිදුකොට ඇති පාඩුව (ඒ හා සම්බන්ධව කටයුතු කළ අදාල ඇමතිවරුන් හා නිලධාරීන්ගෙන්) පෞද්ගලිකව අයකර ගැනීමට පියවර ගන්නා බවද පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න