පොලිස් නිලධාරීන් ඝාතනය කුමන්ත්‍රණයක් : ජාතික හෙළ උරුමයෙන් නිවේදනයක් !

පොලිස් නිලධාරීන් ඝාතනය කුමන්ත්‍රණයක් : ජාතික හෙළ උරුමයෙන් නිවේදනයක් !

මඩකළපුව වව්නතිව් පොලිස් මුරපොළක සේවයේයේදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කොට ඔවුන් සතු ගිනි අවි දෙක පැහැරගෙන ගොස් තිබීමේ සිදුවීම පිළිබඳ වහාම විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස‍ ජාතික හෙළ උරුමය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම පක්ෂය අද (30) මේ බව සඳහන් කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද දැක්වේ.

“ඊයේ අලුයම් කාලයේ දි මඩකළපුව වව්නතිව් පොලිස් මුරපොළක සේවයේයේදී සිටි පොලිස් නිලධාරින් දෙදෙනෙකු ඝාතනය කොට ඔවුන් සතු ගිනිඅවි දෙක පැහැරගෙන ගොස් ඇත. 

මෙම සිදුවීම් බරපතළ සිදුවීමක් ලෙස සලකා වහාම අවධානය යොමුකොට විධිමත් පරීක්ෂණයක් පවත්වා මෙම ඝාතනය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න සොයා බලා රටට සත්යර තොරතුරු හෙළිදරව් කිරීමට වහාම පියවර ගත යුතුය. 

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදය පරාජය පත් කිරීමෙන් පසු ගෙවීගිය වසර 09තුළ විවිධ සිදුවීම් උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් වාර්තා වු අතර ඒ පිටුපස විවිධ මුහුණුවරින් කටයුතු කරන අන්තවාදි ත්‍රස්තවාදී කණ්ඩායම්වල හෙවනැල්ල වැටී තිබු බව එම සිදුවීම අධ්‍යයනය කිරිමේ දී දැකගත හැකිවිය. 

ත්‍රස්තවාදය පරාජය කිරීමෙන් පසු එල්.ටී.ටී.ඊ.හිතවාදී දේශපාලන කණ්ඩායම් හා ප්‍රචණ්ඩත්වය ගැන විශ්වාසය තබන කණ්ඩායම් විවිධ මුහුණුවලින් ස්වරූපවලින් විවෘතවත් රහසිගතවත් කටයුතු කරමින් සිටින බව නීරික්ෂණය කළහැකි විය. 

එහෙත් ඝාතන හෝ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා නොවුනු අතර මෙම සිදුවිම තුළින් පෙන්නුම් කරන්නේ කවර තත්ත්වයක්ද යන්න පිළිබඳව වහාම ආරක්ෂක අංශවල හා බුද්ධිඅංශවල අවධානය යොමුකළ යුතුය. 

රටතුළ නිර්මාණය වී ඇති දේශපාලන ව්‍යාකූලත්වය සහ ආරාජිකත්වය  ප්‍රයෝජනයට ගනිමින් ත්‍රස්තවාදය පිළිබඳ විශ්වාසයක් තබන කණ්ඩායමක් මෙය ප්‍රයෝජනයට ගනිමින් සිටින්නේද යන්න පිළිබඳවත් එසේ නැතිනම් පටු දේශපාලන අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා වෙනත් හස්තයකින් ක්‍රියාත්මක වන්නේද යන්න පිළිබඳවත් වහාම සොයා බැලිය යුතු අතර රටේ අවධානය හා දේශපාලන පසුබිම වෙනතකට යොමු කිරීම සඳහා සැළසුම් සහගත කූඨ කුමන්ත්‍රණයක් ද යන්න පිළිබඳව වහාම සොයාබලා රටට හෙළිදරව් කළ යුතුය.

තෙල්දෙණිය, දිගන හා අම්පාර ප්‍රදේශයේ ඇතිවූ සිදුවීම් හා ඒවා පිටුපස සිටි කල්ලි කණ්ඩායම් හා දේශපාලන හස්තයන් හෙළිදරව්වෙමින් ඇති අතර මේ මොහොතෙ මඩකළපුව-වව්නතිව් සිදුවීම් ද ප්‍රශ්නාර්ථයක් මතුකරන බැවින් මේ පිළිබඳව වහාම සොයාබලා සත්‍ය හෙළිදරව් කිරීම පොලිස්පතිවරයාගෙත්, ආරක්ෂක ලේකම්වරයාගේත්, සේනාධිනායක ලෙස ජනාධිපතිවරයාගේත් වගකීම වේ. 

රට දේශපාලන අස්ථාවරභාවයකට, ව්‍යාකූලතත්වයකට හා අනාරක්ෂිත තත්ත්වයකට ඇඳදැමීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, ඊනීයා අගමැති මහින්ද රාජපක්ෂත්, ඊනීයා කැබිනට් මණ්ඩලයත් වගකිව යුතු බව අප අවධාරණය කරන අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා සත්‍ය තොරතුරු රටට හෙළිදරව් කරන මෙන් ඉල්ලා සිටින අතර කවරෙක් කළද මෙම ඝාතන දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින අතර මෙම පොලිස් නිලධාරින් දෙදෙනාගේ බිරිඳ දරුවන් සහ ඥාතින්ට අප පක්ෂයේ බලවත් සංවේගය ද පළකර සිටිමු.“

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න