අර්බුදය පවතී සෑම දිනයකටම : සෑම වැසියකුටම දිනකට රු: 100ක වැය බරක් - පාඨලී 

අර්බුදය පවතී සෑම දිනයකටම : සෑම වැසියකුටම දිනකට රු: 100ක වැය බරක් - පාඨලී 

පවතින දේශපාලන  අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් දරන්නට සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී  පාඨලී චම්පික රණවක පවසයි.පාඨලී චම්පික මන්ත්‍රීවරයා අද (07) මේ අදහස් පළකලේ සිය  ෆේස්බුක් පිටුව හරහා විශේෂ  ප්‍රකාශයක් ලබා දෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රණවක මන්ත්‍රීවරයා,

"පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුව අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළා අර්බුදය දින හතකින් විසඳන බව. ඒ වගේම මේ අර්බුදය නිර්මාණය කළේ රනිල් වික්‍රමසිංහ මහතා බවයි එතුමා චෝදනා කළේ. එතුමා විසින් මතක තබා ගත යුතු කරුණු කිහිපයක් තියෙනවා.

එකක් තමයි, මේ අර්බුදය දීර්ඝ වෙන සෑම දිනයක් පාසාම රුපියල් මිලියන 2000කට අධික ප්‍රමාණයක්, ඒ කියන්නේ මේ රටේ සෑම පුද්ගලයෙකුටම රුපියල් 100ක පමණ අමතර වැය බරක් මේ අර්බුදයේ නිර්මාපකයො විසින් ලබා දී ඇති බව. දුගී දුප්පත් ජනතාවට නම් මේක එක වේලක් කෑමට වැය වන මුදල. ඒ නිසා මේ ව්‍යවස්ථාව සමඟ, නීතිය සමඟ සිදු කරන මේ සෙල්ලම වහාම නතර කිරීමට ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි.

ඇත්තටම මේ අර්බුදය නිර්මාණය කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ඔහු එය නිර්මාණය කළේ රටේ ජනාධිපති අපේක්‍ෂකයා වීමේ අරමුණින්. ඒ පොහොට්ටු පක්‍ෂයේ අපේක්ෂකයා ලෙස. ඒ වගේම පසුගිය 14,15, හා 16 දිනවල, පාර්ලිමේන්තුවේදී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනයට එරෙහිව සම්මත කරන ලද විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ජනාධිපතිවරයාත් රාජපක්‍ෂ කල්ලියත් ප්‍රකාශ කළේ සමාන මතයක්. ඒ තමයි එය නීති විරෝධී බව. එය ව්‍යවස්ථාවට එරෙහි බව. එය පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවලට පටහැනි බව. මුලින් ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුවේ හැන්සාඩ් වාර්තාවේ මේ කිසිවක් සඳහන් නොවන බව. දෙවනුව ප්‍රකාශ කළේ හැන්සාඩ් වාර්තාව නිකුත් වූ පසු, එය වෙබ් අඩවියෙන් සියලු දෙනාට දැන ගන්නට සැලසුණු පසු එය කූට ලේඛනයක් බව.

කූට ලේඛන පිලිබඳ කුප්‍රකට ඉතිහාසයක් තිබෙන චරිත කිහිපයක් විසින් තමන්ට උප්පැන්න සහතික හොරට හදපු අය, තමන්ගේ නොවන චෙක්පත් වලින් ප්‍රකෝටි ගණන් වංචා කරපු අය, විවිධ අය වෙනුවෙන් ඇටෝනි බලපත්‍ර අරගෙන ඒවායින් ප්‍රකෝටි ගණන් ධනය උපයාගත් තක්කඩි රැලක් තමයි මේ කූට ලේඛන ගැන ජනතාවට කරුණු දක්වමින් ඉන්නේ. දැන් ඒ උගුලේ මහින්ද රාජපක්‍ෂ මහතාත් හසුවී හමාරයි.

කෙසේ වෙතත් අභියාචනාධිකරණය විසින් ලබා දුන් නඩු තීන්දුවත් ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් අතුරු තහනම් නියෝගයත් අප විසින් දිගින් දිගටම පුන පුනා ප්‍රකාශ කළ දේ, එනම් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමත්, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධූරයට පත් කිරීමත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී බව දැනටමත් සහතික කොට තිබෙනවා.
 
ඒ වගේම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවත් ඒ අතුරු තහනම් නියෝගය මගින් කිසියම් දුරකට ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කොට තිබෙනවා."

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න