එක්සත් ජාතික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ විශ්වාසය පල කිරීම සඳහා සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා ඉදිරිපත් කළ යෝජනාව පක්ෂව අද වැඩි ඡන්දයෙන් සම්මත විය.
අගමැතිවරයකු ඉවත් කරනවා නම් ඉවත් කරන ක්‍රම කිහිපයක් තිබෙනවා. එක්කෝ ඉල්ලා අස්වෙන්න ඕනා. එක්කෝ මන්ත්‍රීකම නැතිවෙන්න ඕනා. විශ්වාස භංග යෝජනාවකින් පරාජය වෙන්න ඕනා. නැතිනම් අයවැය දෙවතාවක් පරාජය වෙන්න ඕනා. මෙන්න මේ අවස්ථාවලදී පමණයි ව්‍යවස්ථානුකූලව අගමැතිවරයකු ඉවත් කරන්න පුලුවන්. නමුත් හිතුවක්කාර කමට, රටේ ජනතාව පැත්තකට වීසි කරලා මමත්වය රජකරවමින් තමන් ගැන හිතලා මේ බලහත්කාරී තීන්දුව ගැනීම තුල අද මුලු රටම මහා අති භයංකාර තත්ත්වයකට ගෙනවැත් තිබෙනවා.
නීත්‍යනුකූල නොවන ආකාරයට, ව්‍යවස්ථා විරෝධීව නිල නොවන අගමැතිවරයෙක් පත් කළා පමණක් නොවෙයි, වෙනමම පාර්ලිමේන්තුවට විරාමයකුත් දුන්නා 113 නැති නිසා 113 හදා ගන්න. නමුත් විවිධ වරදාන වරප්‍රසාද අපේ ප්‍රගතිශීලී මන්ත්‍රී මණ්ඩලයට ලබා දෙන්න උත්සාහ කළත් මේ මන්ත්‍රී මණ්ඩලය තමන්ගේ ආත්මය පාවලා දුන්නේ නෑ. නීත්‍යනුකූල අගමැතිවරයකු ප්‍රමුඛ නිල නොවන ආණ්ඩුවක් පත් කර ගත්තා. ප්‍රතිපක්ෂයේ අපි මොකක්ද කළේ? අපි පාර්ලිමේන්තුව රැස්වුණු අවස්ථාවන් ගණනාවකදී අපි පෙන්වලා දුන්නා බහුතරය තියෙන්නේ නිල නොවන ආණ්ඩුවට නොවෙයි, බහුතර තිබෙන්නේ බලහත්කාරයෙන් ඉවත් කරපු අපේ පාර්ශ්වයට කියලා. විශ්වාස භංග යෝජනා දෙකකදී ඔප්පු කළා. අනිත් ඡන්ද තියද්දි කිව්වානේ ඉලෙට්‍රෝනික් ක්‍රමයට ඕනා කියලා. ඉලෙට්‍රෝනික් ක්‍රමයටත් පෙන්නුවා, නැගිටලත් පෙන්නුවා. පෙන්වන්න පුලුවන් හැම ක්‍රමයකටම පෙන්නුවා.
විවිධ දේවල් කරලා 113 හදා ගන්න බැරිව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් පාර්ලිමේන්තුව විසිරුවා හැරියා. මොන නීති කණ්ඩායමද පාර්ලිමේන්තුව විසිරුවාලීමේ උපදෙස් ලබා දුන්නේ මොන නීති විශාරදයද කියලා මම දැනගන්න කැමතියි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව දිහා බලන්නේ නැතිව එම වැරදි තීන්දුව ගත්තා. ඊට එරෙහිව නඩුව විභාග කරලා අවසන්. දැන් තීන්දුව දිහා බලාගෙන ඉන්නවා. ඒ නිසා මම ඒ ගැන වැඩිදුර කතා කරන්න යන්නේ නෑ.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියන්නේ රටක තිබෙන උත්තරීතර නීතිය. උත්තරීතර නීතිය රැකගන්න සහ ආරක්ෂා කරන්න අපි සියලුම දෙනා බැඳිලා තිබෙනවා. එය පුරවැසි වගකීමක්. එය අපි සියලු දෙනාගේම වගකීමක්.
මේ සභාවේ වැඩිම විශ්වාසය තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහතාටයි කියන දේ මම කියන්න කැමතියි. මෙය සත්‍යක්. මෙය යතාර්ථයක්. සත්‍යයට ගරු කරලා ව්‍යවස්ථාවට ගරු කරලා එය අනුගමනය කරන්න අපි වග බලා ගන්න ඕනා. නිත්‍යනුකූල රජයක් නොතිබීම තුල අද රට අන්ත ප්‍රපාතයට වැටිලා. ජනතාව ඉමහත් අසරණ භාවට පත් වෙලා. සංවර්ධනය ඇනහිටලා. අපේ රටට ලැබෙන්න තිබෙන විදේශ ආධාර සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප වෙලා. අද රටතුල සාමාන්‍ය ජනතාවට ඉඩම් බෙදෙන්නේ නෑ. ගෙවල් හැදෙන්නේ නෑ. වාරිමාර්ග සංවර්ධන ඇනහිටලා. ධීවර ප්‍රජාවට සහන නෑ. රාජ්‍ය සේවක ක්ෂේත්‍රය මුලුමනින්ම අසරණ වෙලා. රටට ලැබෙන්න තිබ්බ දේ හකුලාගෙන ගිහින්.
අද අපේ රට කොච්චර කඩා වැටිලද කියනවා නම් අද පිළිකා රෝගීන්ටත් අත්‍යවශ්‍ය බෙහෙත් නැති වෙලා. අද ගම්උදාව නැවතිලා. ගම්පෙරළිය නතර වෙලා. ග්‍රාම රාජ්‍ය වැඩපිළිවෙල නතර වෙලා. එන්ටර්ප්‍රයිස් ශ්‍රීලංකා නැවතිලා. පාසල් සිසුන්ට නිල ඇඳුම් රෙදි ලබා දෙන්නට අපහොසත් වෙලා තිබෙනවා.
මම ඉතා ඕනෑකමින්, කරුණාවෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා තව දුරටත් ඔබතුමා බලා සිටින්නට එපා. ඔක්තෝබර් 26 වැනි දා සිට මේ ගත්තු ක්‍රියාමාර්ග තුළ ඒවායේ නීති විරෝධී ආකාරය මුලු රටම පිළිඅරගෙන තිබෙනවා. ඒ නිසා මේ සභාගර්භය තුල සිට මම ඉල්ලා සිටිනවා. දැන්වත් අපේ මාතෘ භූමිය ගොඩගන්නට මේ සභාවේ උපරිම විශ්වාසය තිබෙන රනිල් වික්‍රමසිංහ මහතා මේ රටේ අගමැතිතුමා ලෙස පත් කරන්න කියා මම ඉල්ලා සිටිනවා.
අද හවසම රනිල් අගමැති කරන්න - මංගල
යෝජනාව ස්ථිර කරමින් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර,
රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙයි විශ්වාසය ඇතැයි සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත් කළ යෝජනාව මම ස්ථිර කරනවා. 48 සිට අපේ රට විවිධ දේශපාලන අර්බුද වලට මුහුණ දීලා තිබෙනවා. අපේ රටේ නායකයන් දෙදෙනක් ඝාතනය කළා. හැට දෙකේ හමුදා කුමන්ත්‍රණය වගේම ඉන් පසු දකුණේ තරුණ කැරලි දෙකක් තිබුණා. ඉන් පසු යුද්ධය පැවතුනා. ඔක්තෝබර් 26 වැනි දා සිදු වුණා වගේ ව්‍යවස්ථා විරෝධී කුමන්ත්‍රණයක් වෙලා නෑ. ඔක්තෝබර් 26 වැනි දා ශ්‍රී ලංකාවේ කළු සිකුරාදා ලෙස නම් කරාවි. ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට නීත්‍යනුකූල අගමැතිවරයා සහ නීත්‍යනුකූල ඇමැති මණ්ඩලය නීති විරෝධී ලෙස අයින් කළා. ඒ තත්ත්වය නිසා රට මේ වන විට විනාශයේ දොරකඩට ඇවිත් තියෙන්නේ.
මම දැක්කා අපේ ජනාධිපතිතුමා. මොකද අපියි එතුමා දිනෙව්වේ. දකුණෙන් මාතර දිනවලා දුන්නා. ජනාධිපතිතුමා ශ්‍රීලනිප සම්මේලනයකට ගිහින් කිව්වා ජර්මනියේ ආණ්ඩුවක් නැතිව මාස ගණනක් තිබ්බා කියලා. මෙය සම්පූර්ණ අසත්‍යක්. ජර්මනියේ මහ මැතිවරණ්‍යක් තිබ්බා. කිසිම පක්ෂයකට එහින් බහුතරයක් ලැබුණේ නෑ. මෙයාලා මාස ගණනක් බහුතරය හදාගන්න විවිධ පක්ෂ සමඟ සාකච්ඡා තිබ්බ එක ඇත්ත. නමුත් ඒ හැම මොහොතකම ආණ්ඩුවක් තිබ්බා. ඇන්ජලා මර්කස් හා කැබිනට් මණ්ඩලය දිගටම පවත්වාගෙන නෑ. ස්වීඩනයේ තවමත් මහ මැතිවරණයෙන් පස්සේ ස්ථාවර රජයක් නැති වුණත් හිටපු අගමැතිවරයා හා ඇමැති මණ්ඩලය දිගටම කටයුතු කරනවා.
රටට විනාඩියකටවත් නායකයෙක් නැතිව නොසිටින්නට ජර්මන් පාර්ලිමේන්තුවට විශ්වාස භංග යෝජනාවක් ගේනවා නම් විශ්වාස භංගය පැරදුණොත් එන නායකයාගේ නමත්. එකෙන් පිළිගන්නවා කිසිම රටකට දවසක් නෙමෙයි පැයක්වත් ආණ්ඩුවක් නැතිව නොතිබිය යුතුයි කියලා. මේ වනකොට සති හයක් තිස්සේ ආණ්ඩුවක් නොමැති වීමේ ඵල විපාක දැනටමත් අපට පේන්න පටං අරගෙන තියෙනවා.
2015 ජනවාරි රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ලෙස පත් වෙද්දි එජාපයට මන්ත්‍රීවරුන් 48ක් පමණක් තිබ්බත් ඒ කාලේ ඉදිරිපත් පළමු අයවැයට තුනෙන් දෙකටත් වඩා වැඩි ඡන්ද ලැබුණා. ඒ කාලේ 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළා. ඒකට ඡන්ද තුනෙන් දෙකකටත් වඩා ලැබුණා. දිගින් දිගටම ස්ථාවර ශක්තිමත් රජයක් තිබ්බා. මේ අවුරුද්දේ රනිල් වික්‍රමසිංහ අගමැතිට විරුද්ධව විශ්වාස භංග යෝජනාවක් ගෙනාවා. එය නීත්‍යනුකූල ක්‍රමයක්. ඒ විශ්වාස භංගයට පක්ෂව ඡන්ද ලැබුණේ 76යි. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා වෙනුවෙන් ඡන්ද 122ක් ලබාගෙන අපි එය පරාජයට පත් කළා. 2015 ජනවාරි මාසේ අට වැනි දා තෙක් 2018 ඔක්තෝබර් 26 වැනි දා තෙක් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට පුළුවන් වුණා ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යන්න.
රට තුළ ජත්‍යන්තර පරීක්ෂණයක් වලක්වන්නත් අපි ක්‍රියාමාර්ග ගත්තා. 2015 සිට අපිට කළ සියලුම දේ ඇති ලියැවිල්ලක් මම සභාගත කරනවා. සමහරු කියනවා එයා ජීඑස්පී ප්ලස් දිනා ගත්තා කියලා. එයා දන්නේ නෑ ජී එස්පී ප්ලස් ලැබුණේ කොහොමද කියලවත්.
එදා බැරක් ඔබාමා ශ්‍රී ලංකාවට කිව්වේ ගුඩ් නිවුස් කන්ට්‍රි කියලා. ප්‍රජාතන්ත්‍රවාදය වැඩියෙන් ස්ථාපිත කළ රට කියලා. ඒ නිසයි අපට සහන රැසක් ලැබුණේ.
2013 වසරේ රජයේ ආදායම මිලියන 1132ක් වුණා. ණය වාරීක ගෙවීම 1163යි. ආදායමට වඩා ණය ගෙවන්න තිබ්බා. විදේශ ජංගම ගිණුමේ 3.4 හිඟයක් පැවතුණා. ද්විත්ව හිඟය නිසා ආර්ථිකය අඩපන වෙලා තිබ්බා. අපනයන අංශය කඩා වැටෙමින් තිබුණා. අපි රජය භාර ගත්තට පස්සේ 2017 වසර තමයි වැඩියෙන්ම අපනය කළ වර්ෂය වුණේ. 2018 වන විට රාජ්‍ය ආදායම සියයට 15.6කින් වැඩි කරන්න හැකි වුණා. රාජපක්ෂ යුගයේ ණයක් තිබෙනවා ඩොලර් බිලියනයක ණයක්. මේ ණය ගෙවන්න පාර්ලිමේන්තුවේ අනුමැතිය අවශ්‍යයි. ඒ සඳහා රටේ නීත්‍යනුකූල අගමැතිවරයෙක් සහ ඇමැති මණ්ඩලයක් අවශ්‍යයි.
නීත්‍යනුකූල රජයක් නොමැති නිසා දෙසැම්බර් 31න් පස්සේ රටේ පඩි ගෙවන්න, ෆෙන්ෂන් ගෙවන්න ක්‍රමයක් නෑ. 148 වගන්තිය අනුව රාජ්‍ය මූල්‍ය පාලනය තියෙන්නේ පාර්ලිමේන්තුවට. මේ වෙනකම් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පිළිගන්න පුලුවන් ආණ්ඩුවක් පත් කරලා නෑ. අපි ජනාධිතිවරයාගෙන් ඉල්ලන්නේ රනිල් වික්‍රමසිංහ මහතා අද හවස් වන විට අගමැතිවරයා ලෙස පත් කරන ලෙසයි.

