Language Switcher

V2025

මහින්ද නම්බු පිටින් ඉල්ලා අස්වෙන්න - පාඨලී 

වහාම මහින්ද රාජපක්‍ෂ නම්බු පිටින් ඉල්ලා අස්වී, ඔහුගේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

අද (13) ලැබුණු අධිකරණ තීන්දුවත් සමඟ මීළඟට සිදුවන්නේ කුමක්ද හා ජනාධිපතිවරයා සිදු කළ යුත්තේ කුමක්දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක  මුහුණු පොත ඔස්සේ අදහස් දක්වමින් මේ බව සඳහන් කරයි.

එසේම ජනාධිපති සිරිසේනද  තවදුරටත් රටත් ජනතාවත් අස්ථාවර නොකොට වහාම පාර්ලිමේන්තුවේ බහුතරය දිනාගත් පාර්ශවයට ආණ්ඩුව පිහිටුවීමට අවස්ථාව දියයුතු බවද මන්ත්‍රීවරයා අවධාරණය කර ඇත.

එහිදී පාඨලී චම්පික රණවක දැක්වූ වැඩිදුර අදහස් පහත දැක්වේ.
 
"දින 48ක් මුළුල්ලේ මේ රටේ ජනතාව අයුක්තියට එරෙහිව යුක්තිය වෙනුවෙනුත්, ඒකාධිපතිවාදයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුත්, ඒ වගේම අවනිතීයට එරෙහිව නීතිය වෙනුවෙනුත් ගෙනගිය අරගලයේ විශිෂ්ට ජයග්‍රහණයක් අද දිනයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් ඒකමතික තීරණයත් සමඟින් තහවුරු වුණා.
 
එනම් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බව ප්‍රකාශ කිරීම. එය මේ රටේ ජනතාව අමන්දානන්දයට පත්කරන තීරණයක්. ඒ වගේම අත්තනෝමතික ලෙස ක්‍රියා කළ ජනාධිපතිවරයා චේතාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බවත්, අයුතු ලෙස බලය පරිහරණය කළ බවත් උසාවිය විසින් ඉතිහාසයේ ප්‍රථම වතාවට ශ්‍රී ලාංකීය ජනතාවට ඔප්පු කළ අවස්තාවක් හැටියට මෙය දකින්න පුළුවන්.
 
මේ මඟින් ඔප්පු උනේ මොකද්ද? මේ මගින් මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය අයිතිය පක්ෂ පාට ජාති ආගමික බේදයකින් තොරව තවදුරටත් සහතික වුණා. ඒ වගේම මේ රටේ ව්‍යවස්ථාවේ තිබෙන උත්තරීතර භාවය අධිකරණයේ ස්වාධීනත්වය ඒ වගේම ඒ සඳහා යුක්තිසහගත ජනතාව අවිහිංසාවාදීව ගෙනගිය අරගලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ථාපිත කරනු ලැබුවා. ඒ පිලිබඳ අපේ ප්‍රණාමය ශ්‍රේෂ්ඨාධිකරණයට ලැබිය යුතුයි.
 
ඒ වගේම කතානායකතුම ප්‍රමුඛ පාර්ලිමේන්තුව තුළිනුත් මේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඉහළට ඔසවා තැබුවා. ඉතාමත් ජඩ ලෙස,අශිෂ්ඨ ලෙස හැසිරෙමින් පාර්ලිමේන්තුව තමන් අතට නතුකර ගන්නට, ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණයට අසික්කිත ලෙස බලපෑම් කිරීමට ඉදිරිපත් වෙච්ච ඒ ජඩ දේශපාලනය ඒ මැර දේශපාලනයට එරෙහිව මේ බලගතු තීන්දුවත් සමඟ අලුත් යුගයක් මේ රටේ උදාවන බව සහතිකයි.
 
මෙය මෛත්‍රීපාල සිරිසේන මහතාගේ බලගතු දේශපාලන පරාජයක්. ඔහුගේ සිහින රාජ්‍යය එනම් ලබන වසරේ ජනාධිපතිවරණයකින් නැවත ජනාධිපති වීමට දැරූ සිහිනය බිඳ වැටීමක්. ඒ වගේම මේ රටේ ඉදිරි කාලය තුල තමන්ට කැමති ආකාරයට කටයුතු කිරීමට හැකියි සිතා සිහින දකිමින් සිටි තමන්ට එරෙහිව පවතී නඩු විභාග ආදියෙන් තමන්ට නිදහස ලබාගැනීමට රාජ්‍ය බලය අයුතු ලෙස පාවිච්චි කළ හැකියැයි සිතූ රාජපක්‍ෂවරුන්ගේ බරපතල පරාජයක්. ප්‍රජාතන්ත්‍රවාදයේ මර දූතයින් ලෙස මහින්ද රාජපක්‍ෂ මහතා හා මෛත්‍රීපාල සිරිසේන මහතා හඳුනාගත යුතුයි. ඒ මර දූතයින් පරාජය කොට මිනිස් දූතයින් ජයගත් අවස්තාවක් හැටියට අපට මෙය හඳුනාගත හැකියි.
 
ඒ වගේම මෙය ඔවුන් සමඟ එකතුවෙලා මේ රටේ නැවත වතාවක් බාල පන්නයේ, දුෂ්ට පන්නයේ, තුච්ඡ පන්නයේ ජාතික මංකොල්ලයක් දියත් කිරීමට හිතාගෙන හිටපු ඔවුන්ගේ ගජ මිතුරන් ලබාගත් පරාජයක්. විශේෂයන්ම අභියාචනාධිකරණය විසින් ලබාදුන් ශ්‍රේෂ්ඨ තීරණයත් සමඟ මහින්ද රාජපක්‍ෂ මහතා වැඩ තහනමට ලක්වුණා. ඔහු සමඟ සිටි ඔහුගේ කූට ජුන්ටාවේ ඇමති මණ්ඩලය තහනම් වුණා. ඔවුන්ගේ මේ සියලු පරාජයන් එක්ක මේ රටේ ජනතාවට අතිවිශිෂ්ට ජයග්‍රහණයක් ලැබුණා. දැන් වහාම මහින්ද රාජපක්‍ෂ නම්බු පිටින් ඉල්ලා අස්වී, ඔහුගේ මේ ව්‍යාජ මහ මැතිවරණ සටන් පාඨයෙන් ඉවත්විය යුතුයි.
 
මහ මැතිවරණයක් පිළිබඳව ඔහු විසින් කරගෙන ගිය මේ ක්‍රියාවලිය නැවැත්විය යුතුයි. ජනාධිපති ධූරය අත්තනෝමතිකව අත්පත් කරගෙන අග්‍රාමාත්‍ය ධූරය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නීති විරෝධීව අත්පත් කරගෙන පාර්ලිමේන්තුවේ බලය නීති විරෝධීව අත්පත් කරගෙන තමන් කැමති කැමති විදිහට මහා මංකොල්ලයක මුහුණුවරින් මැතිවරණයක් ඉල්ලගෙන කරපු ඒ දුෂ්ට සටනට අලුත් විරාමයක් මේ මඟින් ලැබෙනවා. මැතිවරණ නීත්‍යානුකූල ආණ්ඩුවක් මඟින් නීත්‍යානුකූල තත්වයක් යටතේ ඒ වගේම නිදහස් මැතිවරණ කොමිසමක් හරහා ලබාගත යුතුයි.
 
මෙය පක්ෂ සියල්ලම එකට එකමුතු වූ අවස්තාවක්. දැන්වත් ජනාධිපතිවරයා තමන් ව්‍යවස්ථා විරෝධීව කටයුතු කළ බව පැහැදිළිව ඔප්පු කර තිබියදී තමන් වටේ සිටින දුෂ්ට, කූඨ නීතිවේදීන්ගේ ව්‍යාජ බොරු කතා වලට නොරැවටී, ජනමාධ්‍ය හරහා පසුගිය දින 48 ඇතුළත මේ රටේ ජනතාව මුලා කිරීමට ජනතාව නොමඟ යැවීමට ජනතාව ගොනාට ඇන්දවීමට කටයුතු කළ සියලුම දුෂ්ඨ නීති උපදේශකයන්, දුෂ්ඨ දේශපාලකයින් ඒ සියලු දෙනාගෙන්ම අත් මිදී ඔහු දැන්වත් මේ රජය එක්සත් ජාතික පෙරමුණට භාරදිය යුතු වෙනවා.
 
ඒ වගේම වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත ඒ ඔක්තෝබර් 25 වැනිදා පැවති තත්වය ස්ථාපිත කළ යුතුයි. ඉතින් තවත් කල් පමා වන්නේ නම් අධිකරණයේ තීන්දුවත් පැහැදිලියි. පාර්ලිමේන්තුවේ තීන්දුවත් පැහැදිලියි. ජනතාවගේ තීන්දුවත් පැහැදිලියි. තවදුරටත් මේ රට අවුල් ජාලයක් නොකොට, රට හා ජනතාව තවදුරටත් අස්ථාවර නොකොට, විපතෙන් විපතට අපේ ජනතාව පත් නොකොට වහාම ආණ්ඩුවක් පිහිටුවල මේ අරාජික තත්වයෙන් මුදා ගැනීමට වහාම ජනාධිපතිවරයා ක්‍රියාකළ යුතුයි.
 
ඒ වගේම මේ මඟින් ඔහුට බලගතු අනතුරු ඇඟවීමක් ලැබී තිබෙන බවත් ඔහු මතක තබාගත යුතුයි. ව්‍යවස්ථාවට අනුව ව්‍යවස්ථාව චේතාන්විතව උල්ලංඝණය කිරීමත්, බලය අයුතු ලෙස පාවිච්චි කිරීමත් දඬුවම් ලැබිය හැකි වරදක්. ඒ වගේම ඔහුව පදවියෙන් ඉවත් කිරීමට අවශ්‍ය දෝෂාභියෝගයකට අවශ්‍ය කරන පදනම මේ මඟින් වැටී ඇති බවත් ඔහු අමතක නොකළ යුතුයි. ඒ නිසා ඔහු දැන්වත් සිහි එලවාගෙන කටයුතු කලයුතු වෙනවා. එසේම මෙය මේ රටේ, තමන් මහේසාඛ්‍ය නීතිවෙදීන්ය, තමන් මහේසාඛ්‍ය ව්‍යවස්ථා විශාරදයන් යැයි කියා පෙන්වමින්, රට ගොනාට අන්දවමින් සිටි නොයෙක් ආකාරයේ නීති විශාරදයින් හා නීති විශාරදයින් ලෙස පෙනී හිටින කූඨ දේශපාලඥයින්ගේත් බලගතු අවසාන පරාජයක්. අභියාචනාධිකරණයෙන් පළමුවැනි පරාජයත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දෙවෙනි පරාජයත් ජනතා අධිකරණයෙන් තුන්වැනි පරාජයත් ලැබුණු බව අපිට සහතිකයි."