බැඳුම්කර වාර්තාව සේප්පුවේ නොදමා රටට හෙළි කරන්නැයි කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා ජනාධිපතිවරයා ගෙන් ඉල්ලා සිටියි.
ගාල්ල ටැල්බට් ටවුමේ පිහිටි දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේදී පෙරේදා (30දා) පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා එම ඉල්ලීම කළේය.
එහිදී තවදුරටත් කතා කළ කීර්ති තෙන්නකෝන් මහතා මෙසේද කීය.
''බැඳුම්කර ක්‍රියාවලිය තුළ බරපතළ වංචා, දූෂණ, අක්‍රමිකතා සිදු වෙලා කියන පූර්ව නිගමනයක් ඇතිව ජනාධිපතිතුමා විසින් බැඳුම්කර කොමිසම පත් කළා. මේ වන විට බැඳුම්කර කොමිසමේ වාර්තාව ජනාධිපතිතුමා වෙත භාරදීලා තියෙනවා.
ඒ නිසා ජාත්‍යන්තර වශයෙන් පවා බලා සිටින මෙම කොමිෂන් වාර්තාව සේප්පුවේ නොදමා රටට හෙළි කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ඉතා ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා...
සැලැසුම් සහගත විශාලතම මූල්‍ය වංචාව:
මේ බැඳුම්කර සිද්ධියේදී 2015 පෙබරවාරි මාසයේදී මේ පිළිබඳ පළමු හෙළිදරව්ව කළා. මාධ්‍ය සාකච්ඡා පැවැත්වූවා. අර්ජුන මහේන්ද්‍රන් නැවත මහ බැංකුවේ අධිපති ලෙස කටයුතු කරන විට ඒකට විරුද්ධව අධිකරණයට ගියා. ඒ වගේම උද්ඝෝෂණ, සත්‍යග්‍රහ පැවැත්වූවා. උපවාස කළා.
අවුරුදු දෙකයි මාස නවයකට පස්සේ පළමු වතාවට බැඳුම්කර කොමිසම හමුවේ සියලු කරුණු අනාවරණය වෙලා. විභාග කරලා. ඒ වගේම මේ රටේ ජනතාව අතර සංවාදයක් ඇති වෙලා ජනාධිපතිතුමා විසින් පත් කරන ලද කොමිසමේ වාර්තාව මේ වන විට ජනාධිපතිතුමා අතට පත්ව තියෙනවා.
ලංකා ඉතිහාසයේ සිදුවූ සැලැසුම් සහගත විශාලතම මූල්‍ය වංචාව ලෙස සැලකෙන මහ බැංකුව කොල්ලය ආර්ථිකය අඩපණ කළා.
මිලියන අටකට වැඩි අලාභයක් !
ඒ වගේම මේ රටේ මහ බැංකුව පිළිබඳ ජනතාව තුළ තිබූ විශ්වාසය කඩ කළා. මේ රටේ පෞද්ගලික අංශයේ වැඩකරන ජනතාවගේ සේවක අර්ථ සාධකය අවභාවිත කළා.
මෙයින් රුපියල් මිලියන අටකට වැඩි අලාභයක් සිදු කළ බව විගණකාධිපතිවරයා විසින් හෙළිදරව් කර තියෙනවා. මේ සා විශාල මූල්‍ය අපරාධයකට අදාළ වාර්තාව වහා ප්‍රසිද්ධියට පත් කළ යුතුව තියෙනවා.
ජනාධිපතිවරයා මේ බැඳුම්කර කොමිෂන් සභා වාර්තාව සේප්පුවේ දමාගෙන සිටිනවා නම් එය නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වන දෙය.
ජනාධිපතිතුමා බැඳුම්කර කොමිසම පත් කළේ පූර්ව නිගමනයක් ඇතිව. ඒ බැඳුම්කර ක්‍රියාවලිය තුළ බරපතළ වංචාවක්, දූෂණයක්, අක්‍රමිකතාවක් සිදුවෙලාය කියන පූර්ව නිගමනය මතයි මේ කොමිසම පත් කළේ.
එකී ක්‍රියාවලියේ තියෙන පළමු කාරණාව තමයි මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පාර්ශ්වකරුවන්, පුද්ගලයන් ආයතන මොනවා දැයි හඳුනා ගනිමින් ඔවුන් හෙළිදරව් කිරීම සහ අනාගතයේදී මෙවැනි වංචාවන් සිදු නොවන තැනට මේ ක්‍රියාවලිය මෙහෙයවන්නේ කෙසේද කියන කාරණාව පිළිබඳ විමර්ශන වාර්තාවක් ලබා ගැනීම.
ශුද්ධ වූ අයිතිය ආරක්ෂා කිරීමේ වගකීම:
මේ විමර්ශන වාර්තාවේ තියෙන තොරතුරු දැනගැනීම සඳහා ශුද්ධ වූ අයිතියක් රටේ ජනතාවට තියෙනවා. ජනතාව බලාපොරොත්තු වුණේ එකී වාර්තාව නාමිකව ලියා මේ රටේ පළමුවැනි පුරවැසියා, විධායකයේ ප්‍රධානියා අතේ තියා ගෙන හංගා ගෙන ඉන්න එක නෙවෙයි.
අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ මේ බැඳුම්කර කොමිසමේ වාර්තාවේ තියෙන කරුණු රටට හෙළි කරන්න කියලා.
මහා පරිමාණ වංචාවක් සිදුවී ඇති බවට නිශ්චිත තොරතුරු තියෙනවා. ඒකට සම්බන්ධ වෙච්ච පුද්ගලයන් විවෘත විමර්ශනයකදී හෙළිදරව් වී තියෙනවා. ඒ පිළිබඳ නම් ගම් සාක්කි සහිතව පුද්ගලයන් හෙළිදරව් වී තියෙනවා.
ඒකට සම්බන්ධ ඇමැතිවරුන් තුන් දෙනෙක් මේ විමර්ශන කොමිසම හමුවට ඇවිත් සාක්කි දුන්නා.
ලංකාවේ පළමු වරට අගමැතිවරයෙක් සාක්කි දෙන තත්ත්වයට පත්ව තිබුණා. මහ බැංකුවේ අධිපතිවරයා ඇවිත් සාක්කි දුන්නා.
දැන් මේ ක්‍රියාවලිය පිළිබඳ මේ රටේ විතරක් නෙවී ජාත්‍යන්තර වශයෙන්ද මුළු ලෝකයම ඇස් දෙක ඇරගෙන බලා ඉන්නවා.
මේ වාර්තාවේ තොරතුරු දැන ගැනීම සඳහා ජනතාව වෙත ඇති ශුද්ධ වූ අයිතිය ආරක්ෂා කිරීම ජනාධිපතිවරයාගේ වගකීමයි.
ඒ නිසා වහාම මේ බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධ කරන ලෙස ජනාධිපතිතුමාගෙන් ගෞරවනීය ලෙස ඉල්ලා සිටිනවා.
කොමිසම් වාර්තාවලට අත්වූ අමිහිරි අත්දැකීම් ?
කොමිෂන් සභා පිළිබඳවත් කොමිෂන් සභා වාර්තාවලට සිදුවුණු දේවල් පිළිබඳවත් ඉතා අමිහිරි අත්දැකීම් තියෙන රටක් තමයි ශ්‍රී ලංකාව.
ජේ.ආර්. ජයවර්ධන මහත්මා, ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා, චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිපතිතුමිය, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා යටතේ ජනාධිපති කොමිෂන් පත්කර තියෙනවා. ඒ සියලු කොමිෂන් සභා වාර්තා එක්කෝ හමස් පෙට්ටියට ගිහින් තියෙනවා.
අවස්ථා කීපයකදී විතරක් ජනතාව බලාපොරොත්තු වුණු අභිලාෂයන් ඉටු වූයේ ඒ වාර්තාවලින්. මේ හිටපු ජනාධිපතිවරුන් මෙන් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා ඒ වාර්තා හමස් පෙට්ටියට නොදාවි යැයි ජනතාව තුළ විශ්වාසයක් තියෙනවා.''
සබැඳි පුවත් :

