Language Switcher

V2025

අපරාධකරුවන් නිදැල්ලේ තබා : මගේ නමට ගමක් එපා - පොද්දල ජයන්ත සජිත්ට ලියයි !

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම්වලට ලක් කිරීම, ප්‍රහාරවලට ගොදුරු කිරීම, මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම, ගිනි තැබීම ආදී සිදුවීම් පිලිබඳ නිසි විමර්ශනයක් සිදුකර අපරාධකරුවන්ට දඬුවම් ලබා නොදී ඇති පසුබිමක් තුළ උදාගම්මාන ඇතුළු රජයේ ව්‍යාපෘතිවලට ඔවුන්ගේ නම් දැමීමෙන් කිසිදු සමාජ ඵලයක් සිදු නොවන බව මාධ්‍යවේදී පොද්දල ජයන්ත සඳහන් කරයි.

නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වෙත ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

නිවාස ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් අනුව හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉදිකරන උදාගම්මාන 4 කට රාජපක්ෂ පාලන සමයේ මර්දනයේ ගොදුරු බවට පත්වූ මාධ්‍යවේදීන් වූ ලසන්ත වික්‍රමතුංග, උපාලි තෙන්නකෝන්, කීත් නොයාර් සහ පෝද්දල ජයන්ත’ යන නම් තබන බව ප්‍රකාශ කර තිබු නමුත් මාධ්‍යවේදී පෝද්දල ජයන්ත සිය ලිපිය හරහා තම නම යෙදීම සිදුනොකරන ලෙස එම ලිපියෙන් ඉල්ලා ඇත.

එසේම ජඩමාධ්‍ය ට එරෙහිව පැවැත්වූ සාමකාමී විරෝධය විවේචනය කරමින් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා ජඩමාධ්‍ය වෙත පක්ෂව කරුණු දැක්වීම සම්බන්ධවද එම ලිපියේ අවධාරණය කර තිබේ.

එම සම්පූර්ණ ලිපිය පහත දැක්වේ.

පෝද්දල ජයන්ත
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
නිව්යෝර්ක්
12/01/2009

නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය
සජිත් ප්‍රේමදාස මහතා,
නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය,
සෙත්සිරිපාය,
බත්තරමුල්ල,
ශ්‍රී ලංකාව.

අමාත්‍යතුමනි,

"යෝජිත උදාගම්මානයකට මගේ ‘නම’ නොතබන ලෙස කරනු ලබන ඉල්ලීමයි"

රාජපක්ෂ පාලන සමයේ දී ඝාතනයට ලක් වූ ලසන්ත වික්‍රමතුංග, පැහැර ගැනීමට ලක්වූ කීත් නොයාර්, පෝද්දල ජයන්ත හා පහර දීමට ලක්වූ උපාලි තෙන්නකෝන් යන සිව් දෙනාගේ නමින් “උදාගම්මාන” හතරක් ඉදි කිරීම සඳහා ඔබතුමන් විසින් මුල් ගල් තැබූ බව සිරස ප්‍රවෘත්ති විකාශයෙන් දැන ගන්නට ලැබුණි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත මේ උදාගම්මාන හතර ඉදිකෙරෙන්නේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ඇප කැප වූ මාධ්‍යවේදීන් සිව් දෙනෙකුට උපහාර පිණිස යැයිද මුල්ගල් තැබීමේ උළෙලේ දී ඔබතුමා විසින් කරනු ලැබූ කතාවක්ද එම ප්‍රවෘත්ති විකාශයෙන්ම විකාශය කෙරිණ.

ජනමාධ්‍ය නිදහස වෙනුවෙන් කැපවුණු පිරිසක් පිළිබඳව ඔබතුමා තුළ එවැනි හැඟීමක් පහළ වීම ගැන මගේ ස්තූතිය පළමු කොට ප්‍රකාශ කරමි. එහෙත් පහත සංසිද්ධීන් හේතු කොටගෙන මගේ ‘නම’ එකී උදාගම්මානයට නොතබන ලෙස ඉතාම කරුණාවෙන් ඉල්ලා සිටිමි.

1) ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම්වලට ලක් කිරීම, ප්‍රහාරවලට ගොදුරු කිරීම, මාධ්‍ය ආයතන වලට ප්‍රහාර එල්ල කිරීම, ගිනි තැබීම ආදී සිදුවීම් පිලිබඳ නිසි විමර්ශනයක් සිදුකර අපරාධකරුවන්ට දඬුවම් ලබා නොදී ඇති පසුබිමක් තුළ උදාගම්මාන ඇතුළු රජයේ ව්‍යාපෘතිවලට ඔවුන්ගේ නම් දැමීමෙන් කිසිදු සමාජ ඵලයක් සිදු නොවීම.

2) ජනමාධ්‍ය ‘මාෆියාවක්’ විසින් ගෙන යන ‘ජඩමාධ්‍යකරණයට’ එරෙහිව සිවිල් සංවිධාන එකතුවක් විසින් පසුගියදා සිදුකළ ඉතාම සාධාරණ ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම සඳහා වූ විරෝධතාවය ‘ජනමාධ්‍ය නිදහසට’ එල්ල කළ මහා තර්ජනයක් ලෙස හෙළා දකිමින් ‘ජඩමාධ්‍යකරණය’ ආරක්ෂා කරන ඔබතුමා වැනි අයෙකුගෙන් උපහාර ලැබීම ලැජ්ජා නැති ක්‍රියාවක් වීම.

3) රටේ පොදු මහජනතාවගේ බදු මුදල් වලින් ඉදිකරන විවිධ ව්‍යාපෘතිවලට දේශපාලකයන්ගේ සහ ඔවුනට අවශ්‍ය නම් ගම් තබා ගැනීමේ තුච්ඡ ක්‍රියාවලියට මුළුමනින්ම විරුද්ධ අයෙකු ලෙසද, පුළුල් ජනමාධ්‍ය කරණයේ අල්පයක් දත් මා වැන්නෙකුගේ නම එවැනි ව්‍යාපෘතියකට දැමීම නොගැලපෙන කාරණයක් වීම.

ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම, පැහැර ගැනීම, මාධ්‍ය ආයතන විනාශ කිරීම !

ඔබතුමාගේ පියා ජනාධිපතිධූරය දැරූ සමයේ සිට ඇරඹි, ඡායාරූප ශිල්පී විජේසුන්දරගෙන් පටන් ගෙන රිචඩ් ද සොයිසාගේත්, චන්ද්‍රිකා සමයේත්, රාජපක්ෂ පාලන සමය දක්වාත් විහිදී ගිය මාධ්‍යවේදීන් ඝාතනය, පැහැරගෙන යෑම, නොතිත් වධ බන්ධන වලට ලක් කිරීම් වල ලැයිස්තුව ඉතා දිගු එකකි. ඒ කවර හෝ සිද්ධියක් පිළිබඳ කිසිදු රජයක් නිසි පරීක්ෂණ පවත්වා අපරාධකරුවන්ට දඬුවම් ලබා දී නැත.

වර්ෂ 2015 දී යහපාලන රජය බලයට පත්වන්නේ ද ඉතිහාසයේ නොවූ විරූ ලෙස රාජපක්ෂ පාලන කාලය තුළ සිදුකළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, පහර දීම්, මාධ්‍ය ආයතන ගිනි තැබීම්, පිළිබඳව වහා පරීක්ෂණ අරඹා අපරාධකරුවන්ට නිසි දඬුවම් ලබා දෙන පොරොන්දුව පිට ය. පැහැර ගැනීමට ලක්ව අමානුෂික වධ බන්ධනවලට ලක්වූ මේ ලියුම්කරුගේත්, ඝාතනයට ලක්වූ ලසන්ත වික්‍රමතුංගගේත්, අතුරුදහන් කළ ප්‍රගීත් එක්නැලිගොඩගේත්, පහර දීමට ලක්වූ උපාලි තෙන්නකෝන්ගේත්, කීත් නොයාර්ගේත් නම් මැතිවරණ වේදිකාවල ඇති තරම් ගෙන හැර පෑවෝය. ඔබතුමාද අනේක අවස්ථාවල රාජපක්ෂ පාලන කාලයේ සිදුකළ මාධ්‍ය මර්දනයන් ගැන කතා කළා පමණක් නොව, බලයට පත්වූ සැණින් එකී අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවට දිව්රා ශපථ කෙළේය.

ලසන්ත, ප්‍රගීත්, කීත්, උපාලි, පෝද්දල යන නම් දකුණේ වේදිකාවල පට්ටා ගැසුවද, උතුරු-නැගෙනහිර ඝාතනයට ලක්වූ මාධ්‍යවේදීන් ගැනවත්, විනාශ කළ මාධ්‍ය ආයතන ගැනවත් කිසිවෙකු කතා කෙළේ නැත. අන්තර් ජාතිකව කීර්තියට පත් සිවරාම් (තාරකී) ගේ ඝාතනය අමතක විය. නිමලරාජන්, සුගීදරාජන් අමතක විය. කෙසේ හෝ මේ මොහොත වන විට ඒ සියල්ල කාලයේ වැලි තලාවෙන් වැසී යමින් තිබේ.

ජඩමාධ්‍යකරණයට එරෙහිවීම තර්ජනයක් ද?

රටේ පොදු මහජනතාවට අයිති සංඛ්‍යාත පාවිච්චි කරන රාජ්‍ය පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය නාලිකාත්, රාජ්‍ය-පෞද්ගලික මුද්‍රිත මාධ්‍යයත් ගෙන යන නිර්ලජ්ජිත ‘ජඩමාධ්‍යකරණය’ නිසා රටේ අන්ත අශීලාචාර, පාදඩ දේශපාලනය හිස ඔසවමින් රට විශාල පරිහානියකට පත්වෙමින් තිබේ. මෑතම උදාහරණය ලෙස ඔක්. 26 සිදුකළ ආණ්ඩුව පැහැර ගැනීමේ කුමන්ත්‍රණය ඉහත ‘ජඩමාධ්‍ය’ විසින් සාධාරණීකරනය කිරීමට නොගත් වෙහෙසක් නැත. ශ්‍රේෂ්ඨාධිකරණය හරි තීන්දුව නොදුන්නේ නම්, අද එකී ‘ජඩමාධ්‍ය’ විසින් 2015 දී අවසන් කළ ඒකාධිපති වියරු පවුල් පාලනය රටතුළ ස්ථාපිත කර හමාරය.

මේ ක්‍රියාවලියට එරෙහිව සාධාරණ ජනමාධ්‍ය ක්‍රියාවලියක් ඇතිකර ගැනීම වෙනුවෙන් ඉතා ප්‍රජාතන්ත්‍රවාදීව රටේ ජනතාවගේ අයිතිය පිණිස මාධ්‍ය ආයතන වෙත ගොස් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම ඔබත්, ඔබ රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු වූ හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න, අජිත් පී. පෙරේරා යන අය අර්ථ කථනය කෙළේ මාධ්‍ය නිදහසට එල්ල කළ තර්ජනයක් ලෙසයි. ඔබතුමා ඇතුළු ඒ අමාත්‍යවරුන්ගේ මුවින් පිටවූයේ ඔබතුමාලාගේ ඇත්ත හඬ නොව ඒ ජඩමාධ්‍ය ආයතනවලට අවශ්‍ය දේ බව රටේ ජනතාව නොදන්නවා නොවේ.

රාජපක්ෂලාගෙන් වැඩිම ප්‍රහාරයන් එල්ල වූයේ සිරස වෙතය!

රාජපක්ෂ පාලන සමයේ දී වැඩිම ප්‍රහාර ප්‍රමාණයක් එල්ල වූයේ ‘සිරස’ මාධ්‍ය ආයතනයට ය. සිරස කැමරාවක් දුටු පමණින් එය රැගෙන එන මාධ්‍යවේදීන්ට පහර දීමට මර්වින් සිල්වා ලා සැදී පැහැදී සිටියහ. එකී ප්‍රහාරයන්ට එරෙහිව අප මාධ්‍ය සංවිධාන එකතුව සිවිල් සංවිධාන සමග අරගල කරද්දී එදා රජයේ මාධ්‍ය සමීප රූප රාමු වලින් අප මුහුණු රවුම්කර අප හංවඩු ගැසුවේ කිලී මහාරාජාගේ කොටි සිරසෙන් මුදල් ලබාගෙන උද්ඝෝෂනය කරන එන්ජීඔ් කාරයන් ලෙසයි.

අපේ දරුවන්ට නිදහසේ පාසැල් යෑමට හෝ අපේ බිරිඳකට අඩුම ගණනේ කඩේකට යන්නට හෝ ඔවුහු ඉඩ තැබුවේ නැත. එහෙත් අපි අත නොහැර සටන් කෙළෙමු. එදා අප සමග සටන් කළ සිවිල් සංවිධාන වල පිරිස් තවමත් මාධ්‍ය නිදහස වෙනුවෙන් ඒ සටන් බිමේ සැරි සරති. අද ‘සිරස’ ඒ පිරිසගේ මුහුණු රවුම්කර යුඇන්පී යෙන් මුදල් ලබා‌ගත් එන්ජීඔ් කාරයන් ලෙස හංවඩු ගසයි. ඒ හංවඩුව ගැසීමට ඔබද දායකත්වය සපයන කෙනෙකි.

එදා ආරක්ෂක අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ ‘සිරස’ ලාංඡනයට ‘කොටි සිරස’ ලෙස නම් කර තිබියදී අප එය ඉවත් කරන තුරු සටන් කෙළෙමු. ඉතාම අවාසනාවන්ත තත්ත්වය නම් අද ‘සිරස’ මාධ්‍ය ආයතනය සිවිල් සංවිධානවලට පහර දීමට ඒ අපරාධකරුවන්වම යොදා ගැනීමය. ඒ අපරාධකරුවන් සමග ඔබතුමා ද ලැජ්ජාවකින් තොරව ‘සිරස රැක ගැනීමට’ කියා පෙරට පැමිණ ඇත.

“සිරසට අත තියන්න එපා. සිරසට අත තබා පසුතැවිලි වෙන්න එපා” යන්න සිරස සිවිල් සංවිධානවලට, රටවැසියාට කරන තර්ජනයට ඔබතුමා එකඟදැයි විමසා සිටිමි.

රජයේ ව්‍යාපෘතිවලට දේශපාලකයන්ගේ නම් තබා ගැනීම!

රටේ ජනතාවගේ පාන් රාත්තලේ සිට සියළු භාණ්ඩ හා සේවාවලට අයකරන පොදු බදු මුදල් වලින් ඉදිකරන ව්‍යපෘතිවලට දේශපාලකයන්ගේ නම් තබා ගැනීම කෙතරම් ලජ්ජා නැති ක්‍රියාවක්ද? නූපන් දරුවා පවා විදේශයන්ට ණය කරුවන් කර රාජපක්ෂලා හැදූ මහා පරිමාණ සුදු අලි ව්‍යාපාරවලට ඔවුනගේ නම් තබාගෙන තිබේ. ජාතියක් ණය කරුවන් කර තමන්ගේ නම ගසා ගැනීම හැඳින්විය යුත්තේ කවර නමකින්ද? ඔබතුමා විසින් ද ඉදිකරගෙන යන ‘ගම්උදා’ ව්‍යාපෘතිවල ඉදිකරන විශාල සමරු ඵලකයකට වැය කරන මුදල කොපමණද? එවැනි සමරු ඵලක කීයක් මේ වන විට ඉදිකර තිබේ ද? ඒවායේ මුළු වැය ප්‍රමාණය එකතු කළහොත් කීයද?

ඔබතුමාලාගේ දේශපාලන යසෝ කිර්තිය ඔජ වඩවා ගැනීමට කරන මහජන මුදල් විනාශයට අල්ප මාත්‍රයකින් හෝ දායක වීමට මේ ලියුම්කරු සූදානම් නැත. අඩුම වශයෙන් එවැනි නමක් තැබීමට යෝජනා කිරීමට පෙර ජීවතුන් අතර සිටින නමේ අයිතිකරුගෙන් නිලධාරියෙකු ලවා හෝ විමසීමක් කිරීමට අවම හෝ සදාචාරයක් තිබිය යුතු නොවේ ද? දේශපාලකයන්ගේ නම පවත්වා ගැනීමට ඉදිකරන (ඔබතුමාද ඇතුළු) එක සමරු ඵලකයක් නවත්වා ඒ මුදලින් දිළිඳු පාසැලක වැසිකිලියක්, පානීය ජලය සඳහා ලිඳක් තනවා දෙන්නේ නම් එය කෙතරම් අපූරුද?

අමාත්‍යතුමනි,

අපරාධයන්ට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට සාධාරණය ඉෂ්ඨ වන්නේ රජයේ ව්‍යාපෘතිවලට ඔවුන්ගේ නම් දැමීමෙන් නොව ඒ අපරාධ කළ අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙනි. ඔබතුමා ප්‍රකාශ කළ පරිදි ‘ජනමාධ්‍ය නිදහස’ වෙනුවෙන් කැප වුවන්ගේ නම් නිවාස ව්‍යාපෘතිවලට දැමීමෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකෙන්නේද නැත.

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීමට නම් නීතියේ ආධිපත්‍යය රටතුළ ස්ථාපිත විය යුතුය. අපරාධකරුවන්ට දණ්ඩ මුක්තිය ලබා දීමෙන් නීතියේ ආධිපත්‍යය හෝ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හෝ රැකෙන්නේ නැත.

එය එසේ සිදුවන්නේ නම්, කප්පම් ලබා ගෙන ඝාතනය කළ දරුවන් 11 දෙනා වෙනුවෙන්ද උදාගම්මාන 11 ක් ඉදිකර ඔවුනගේ නම් දැමිය යුතු වේ. උතුරේත්, දකුණේත් ඝාතනය වූ හා ප්‍රහාරවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්, මාධ්‍ය සේවකයන් 44 දෙනාගේ නම් වලින් උදාගම්මාන ඇති කළ යුතු වේ. උතුරු නැගෙනහිර දහස් ගණනක් වූ අම්මලා බිරින්දෑවරුන් ළතෝනි ගහන සිය ගණන් දරුවන්ගේ, ස්වාමි පුරුෂයන්ගේ, සහෝදරයන්ගේ නම් වලින්ද උදාගම්මාන, රාජ්‍ය ව්‍යාපෘති ඇතිකළ යුතු වේ.

මට හැඟී යන පරිදි කවුරුන් හෝ ඔබතුමාට දී තිබෙන්නේ වැරදි උපදේශයකි.

කළ යුත්තේ කුමක්ද?

ඔබතුමාගේ ඉතා කුළුපග නායකයා වූද, ඔබතුමා විසින් ශ්‍රීමත් මෛත්‍රීපාල සිරිසේන, අතිගරු ජනාධිපතිතුමා ලෙස හඳුන්වා දෙන ජනාධිපති සිරිසේනගෙන් ඔබතුමා කළ යුත්තේ එක ඉල්ලීමක් කිරීමය. එනම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බලපෑම් නොකොට ඉහත අපරාධ පිළිබඳ කෙරෙන විමර්ශන වලට පූර්ණ සහාය දෙන ලෙස ඉල්ලීම පමණි.

රටේ ඉදිරි නායකයා වීමටත්, පක්ෂයේ නායකයා වීමටත් පෙරුම්පුරන ඔබතුමාගේ යසෝ කීර්තියට එය ඉතා වැඩ දායකය. ජනාධිපති සිරිසේන විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන බලපෑම, අධිකරණය ඉල්ලා සිටින අපරාධ තොරතුරු ලබා නොදෙන ලෙස හමුදා ප්‍රධානීන්ට කරන බලපෑම වහා නතර කරන ලෙස ඉල්ලා එය ප්‍රායෝගික තත්ත්වයට පත් කර ගත හොත්, අපරාධවලට ගොදුරු වූ මාධ්‍යවේදීන්ට පමණක් නොව සියළු අපරාධ වින්දිතයන්ට සෙතක් සැලසෙනු ඇත. අනාගතයේ එවැනි අපරාධවලට තවත් පිරිසක් ගොදුරු වීම වැළැක්වෙනු ඇත. ඒ යුතුකම ඉටුකරන ලෙස ඔබතුමාගෙන් අවසන් වශයෙන් ඉල්ලා සිටිමි. එය උදාගම් වලට අපේ නම් දැමීමට වඩා ඵලදායී වනු නිසැක ය.

ස්තූතියි..

මෙයට
විශ්වාසී

පෝද්දල ජයන්ත