බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි ලන්ඩන් නඩුවේ තත්ත්වය මෙන්න !

බ්‍රිගේඩියර් ප්‍රියංකට එරෙහි ලන්ඩන් නඩුවේ තත්ත්වය මෙන්න !

බ්‍රිතාන්‍යය සමාජයේ නීතිය සහ සාමය කඩවීමට අදාළ පනත යටතේ ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්ෂක උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව පවරා ඇති නඩුව සඳුදා (ජනවාරි 21) ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ දී නැවත කැඳවීය.

එක් පැමිණිලිකරුවෙකු විසින් ගොනුකරන ලද නඩුවට සාක්ෂිකරුවන් ලෙස දෙදෙනෙක් ඉදිරිපත් වී සිටිති. ඔවුන් එක්සත් රාජධානියේ දිවි ගෙවන පුද්ගලයන්ය.

මේ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය කළ විමසීමට ප්‍රතිචාර දැක්වූ විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ ලන්ඩන් හි වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති බව පැවසෙන නඩුව මගින් අදාළ බ්‍රිගේඩියර්වරයාට කිසිදු බලපෑමක් ඇති නොවන බවකි.

2018 වසරේ පෙබරවාරි 4 වෙනිදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ නිදහස් දින සමරුව පැවැත්වෙද්දී එම පරිශ්‍රය අසළට රැස්වූ දෙමළ පුද්ගලයින් ද ඇතුළු පිරිසක් උද්ඝෝෂණයක යෙදුණහ.

එහිදී අදාළ බ්‍රිගේඩියර්වරයා එම උද්ඝෝෂකයින් වෙත පෑ 'ගෙල සිඳින' ආකාරයේ යැයි පැවසෙන අභිනයක් පිළිබඳ ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන ද සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ අතර ඒ පිළිබඳ අවධානය යොමු කරමින් පෙබරවාරි 6 වෙනිදා විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කළේ එම නිලධාරියාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවන ලද බවය.

නමුත්, ඊට පසු දා (පෙබරවාරි 7) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ නියෝගය පරිදි ඔහුව යළි සේවයේ පිහිටුවනු ලැබීය.

කෙසේවුව ද 2018 පෙබරවාරි මස අවසානයේ දී බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු නැවත ශ්‍රී ලංකාවට ගෙන්වීමට කටයුතු යෙදිණි.

එම කැඳවීමෙන් පසු එවක පැවති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ යුද හමුදාපති මහේෂ් සේනානයක පැවසුවේ, අදාළ නිලධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් ඔහු නැවත කැඳවා ගත් බවය.

බ්‍රිගේඩියර්වරයාට එරෙහිව නඩු පැවරිය හැකි ද?

"මේ පැමිණිලිකරු සහ සාක්ෂිකරුවන් සිද්ධිය වුණ දවසේ උද්ඝෝෂණයට සහභාගී වෙලා තියෙනවා. ඒ වෙලාවේ ඔවුන් දැකලා තියෙනවා මේ නිලධාරියා ගෙල සිඳින ආකාරයේ සංඥාවක් කරනවා" යැයි පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටින 'Public Interest Law Centre' නම් නීති ආධාර ලබාදෙන ආයතනයේ නීතිඥ හෙලන් මොවට් (Helen Mowatt) බීබීසී සිංහල සේවයට පැවසුවාය.

01

"ඔහු එම අවස්ථාවේ සිදු කළ තර්ජනාත්මක අභිනය සහ එහි සිටි පුද්ගලයන්ට එරෙහිව අඩන්තේට්ටම සිදු කිරීමට සැරසෙන ලෙස බිය ගැන්වීම යන කරුණු මත බ්‍රිතාන්‍යයේ සමාජයේ නීතිය සහ සාමය සුරැකීමට අදාළ පනත (Public Order Act 1986 ) යටතේ ඔහුට නඩු පවරා තිබෙනවා" යැයි නීතීඥවරිය පැවසුවාය.

"මෙය ඉතා වැදගත් නඩුවක්. අපි හිතනවා මේ නඩුවෙන් ශ්‍රී ලංකාවේ සිදු වුණ යුද අපරාධ ගැන නැවත අවධානය යොමු කරන්න පුළුවන් වෙයි කියලා," නීතිඥ හෙලන් මොවට් පැවසුවාය.

02

මේ අතර "බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු තානාපති මුක්තිය හිමි නිලධාරියකු බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීමක් සිදු කළ නොහැකියි යන්න ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ මතය" බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශිකා සරෝජා සිරිසේන බීබීසි සිංහල සේවයට පැවසීය.

මේ සම්බන්ධයෙන් අදාළ තානාපති අංශ දැනුවත් කර ඇති බව ද ඇය මෙහි දී කියා සිටියාය.

පවරා ඇති නඩුවට ශ්‍රී ලංකා රජය පාර්ශවයෙන් නීතිවේදියෙකු කරුණු දක්වනු ඇත්දැයි විමසූ විට ඇය පැවසුවේ ඒ පිළිබඳ තවමත් තීරණයක් ගෙන නොමැති බවය.

මේ අතර, බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව ලන්ඩන් නුවර අධිකරණයක නඩු පැවරූ බවට ඔහුට හෝ ශ්‍රී ලංකා යුද හමුදාවට කිසිදු නිල දැනුම්දීමක් සිදු කළ නොමැති බව ශ්‍රී ලංකා යුද හමුදාව පවසයි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු බීබීසි සිංහල සේවයට පැවසුවේ විදේශ අමාත්‍යංශය හෝ තානාපති අංශ විසින් ශ්‍රී ලංකා යුද හමුදාවට හෝ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එවන් දැනුම්දීමක් කරනු ලැබ නැති බවකි.

මන්ත්‍රීවරියන් යැවූ ලිපිය

අදාළ සිදුවීමෙන් දින කීපයකට පසු බ්‍රිතාන්‍යයේ ලේබර් පක්ෂ මන්ත්‍රීවරියන් දෙදෙනෙක් එවක විදේශ ලේකම්ව සිටි බොරිස් ජොන්සන් වෙත ලිපියක් යැවුහ.

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ "රාජ්‍ය තාන්ත්‍රික බලපත් ඉවත් කරමින් ඔහු නෙරපා හරින්න" යැයි එමගින් ඔවුහු ඉල්ලා සිටියහ. එසේම එම ලිපියෙන් ඔවුන් තවදුරටත් පෙන්වාදුන්නේ "ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පිරිසක් උද්ඝෝෂණයක යෙදෙන අතරේදී අදාළ නිලධාරියා 'යමෙකුගේ ගෙල සිඳින බව කියා පෑමේ සංඥාවක්' කිරීම එහි සිටි දෙමළ පුද්ගලයන් බිය ගැන්වීමක්" ලෙසිනි.

03

මෙම ලිපිය යොමු කරනු ලැබුවේ දෙමළ සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායමේ උප සභාපතිනියක වන පාර්ලිමේන්තු මන්ත්‍රීනී ජොආන් රයන් (Joan Ryan ) සහ එහි ජ්‍යෙෂ්ඨ උපසභාපතිනිය වන ෂෝආන් මැක්ඩොනග් (Siobhain McDonagh) විසිනි.

කෙසේවෙතත්, අදාළ සිදුවීමට පසු බ්‍රිගේඩියර්වරයාගේ ක්‍රියාවට එරෙහිව මෙන්ම ඔහුට සහය පළකරමින් ද ලන්ඩන් නුවර විවිධ ස්ථානවල උද්ඝෝෂණ පැවති අතර සමාජ මාධ්‍ය හරහා ඒ සම්බන්ධයෙන් පුළුල් සාකච්ඡාවක් පැතිරී ගියේය.

(බීබීසී)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න