ත්‍රීරෝද රථ නියාමනයට අලුත් අධිකාරියක් එයි !

ත්‍රීරෝද රථ නියාමනයට අලුත් අධිකාරියක් එයි !
ත්‍රී රෝද  රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග සඳහන් කරයි.
 
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (21) රාගම නගරය ත්‍රීවිල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට සහභාගීවූ අවස්ථාවේය.
 
ඒ අනුව “මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාව” ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් වෙමින් පවතී.
මාර්ග ආරක්ෂාව පිළිබද ජාතික සභාවේ මෙහෙය වීමෙන් එම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
 
ත්‍රීරෝද රථ නියාමන කලාප ඇති කිරීමේ ජාතික වැඩසටහන පළමු වරට ආරම්භ කෙරුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර රාගමදී අද පැවැත්වුණේ එහි දෙවැනි වැඩසටහනයි. 
 
ඒ යටතේ රාගම නගරයේ ත්‍රීරෝද රථ රියදුරන්ට විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වාදීම, වසර 25කට වැඩි කාලයක් අඛණ්ඩ සේවාවක නිරත වූ ත්‍රීරෝද රථ රියදුරන් ඇගයීමට ලක් කිරීම, රාගම ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨතම ත්‍රීරෝද රථ රියදුරු ඇගයිමද අද සිදු විය. 
 
එම වැඩසටහනේ  විශේෂත්වය වූයේ සංචාරක ත්‍රීරෝද රථ රියදුරන් 50දෙනෙකුට අවසර පත් ලබාදීම මෙන්ම ඔවුන් සඳහා නිල ඇඳුම් ප්‍රදානයද අද සිදු කෙරිණ. 
 
එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වැඩිදුරටත් කි‍යා සිටියේ ත්‍රීරෝද රථ නියාමනය යනු එම කර්මාන්තය අපහසුතාවයට පත් කිරමින් නීති පැනවීම නොවන බවයි.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ,
 
“ත්‍රිරෝද රථ නියාමනය ත්‍රිරෝද රථ සංගම් බොහෝ කාලයක සිට කරන ඉල්ලීමක්. මේ කර්මාන්තය තවදුරටත් පවත්වාගෙන යාමට නම් එය අත්‍යවශ්‍යයෙන්ම කළ යුතු බව මමත් විශ්වාස කරනවා. 
 
විශේෂයෙන්ම අපි ත්‍රීරෝද රථ රියදුරන් සම්බන්ධයෙන් ජනතාව තුළ තිබෙන ආකල්පය වෙනස් කළ යුතුයි. අපි දන්නවා අපිට ඉන්නේ ත්‍රීරෝද රියදුරු මහත්වරුන්. නමුත් අපි කවුරුවත් ඔවුන්ට මහත්තයා කියලා කථා කරන්නේ නැහැ. එක්කෝ ඩ්‍රයිවර් කියනවා. නැතිනම් රියදුරා කියනවා. 
 
මෙවැනි තත්ත්වයකට අද සමාජය ගිහින් තියෙන්නේ ඉතාම අතොලොස්සක් වූ ත්‍රීරෝද රථ රියදුරන් කරන වැරදි නිසා. කර්මාන්තය කඩා නොපවතින්නට නම් මේ වැරදි ඉක්මනින්ම අපි හදා ගත යුතුයි. 
 
ඒ නිසා තමයි  මාර්ග ආරක්ෂාව පිළිබදව ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් කිරිමට මම අපේක්ෂා කරන්නේ. ඒ සඳහා අවශ්‍ය නීතිමය කෙටුම්පත් බොහෝ දුරට හදලා අවසන්. තව මාසයක් දෙකක් ඇතුලත මම මේ සභාව අධිකාරියක් බවට පත් කිරිමට අවශ්‍ය කටයුතු අවසන් කරනවා.”
 
 
 
 

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න