පාරිසරික සහ කාලගුණ වෙනස්වීම් අභියෝගතා හමුවේ වෙනත් රටවල් හා සමගාමීව ලංකාවද පුනර්ජනනීය බලශක්ති ක්‍රම හඳුන්වා දියයුතු බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක පවසයි.
අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ "හරිත බලශක්ති ශුරයා 2019" තරගාවලිය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම වෙනුවෙන් ජර්මන් තානාපති කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්ය.
හරිත බලශක්තිය පිළිබඳ විශිෂ්ඨ ව්‍යාපෘති වාර්තා ඉදිරිපත් කරමින් ඒවා ක්‍රියාත්මක කිරීමට මූල්‍ය පහසුකම් හිමිවීම ලංකාව ලැබූ ජයග්‍රහණයක් බවද අමාත්‍යවරයා පැවසීය.
"හරිත බලශක්ති ශුරයා 2019" තරගාවලිය සුනිත්‍ය බලශක්ති අධිකාරිය මගින් සංවිධානය කරයි. ඒ හරහා නවෝත්පාදක පුනර්ජනනීය බලශක්ති උත්පාදන ව්‍යාපෘතියක් තෝරා, ඊට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයෙන අතර රාජ්‍ය සහ පුද්ගලික අංශ වලින් මෙන්ම සිවිල් සංවිධාන මට්ටමෙන්ද ව්‍යාපෘති යෝජනා එක්කිරීමේ අවස්ථාව හිමිවේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
විදුලි බල සහ බලශක්ති විෂය ආශ්‍රිතව අපේ රටේ ගැටළු රාශියක් තිබෙනවා.මේ විෂය මට අලුත්. නමුත් මම ඉතා සතුටින් මෙම අභියෝගය භාරගෙන අමාත්‍යංශ ලේකම්වරයා ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සාර්ථකව වැඩකරගෙන යනවා. විවිධ බාධා අභියෝග එන්න පුළුවන්. නමුත් අපි නිවැරදිව කටයුතු කරන්න උත්සාහ කරනවා.
වසර ගණනාවක සිට විදුලි බලය ජනනය කිරීමේදී එක මොගාවොට් එකක් වත් ඉතිරි කරගන්න අප සමත් වෙලා නෑ. නමුත් වාර්ෂිකව 6%- 7% වගේ විදුලි බල ඉල්ලුම ඉහල යනවා. ඒ ගැටලුව සඳහා අපි දේශපාලන තීන්දුවක් ගත යුතුව තිබෙනවා. මම අමාත්‍යංශය භාරගෙන සතියක් යනවිට තරුණ පිරිසක් ආවා මාව මුණගැහෙන්න. ඒ ඇවිත් කිව්වේ සුළං බලයෙන් විදුලි උත්පාදනය කිරීම නිසා කුරුල්ලන් මිය යන බව. ඒ ගැටළු බැලුවාම අපට කටයුතු කරන්න තියෙන්නේ සීමිත ප්‍රමාණයක.
දැන් බලන්න විදුලිබල ඒකකයක් නිෂ්පාදනය කරන්න රුපියල් 22.73ක් පමණ වියදම් වෙනවා. අපි එය දෙන්නේ රුපියල් 16.32 කට. එතන විශාල පාඩුවක් සිදුවෙනවා. ප්‍රශ්න තැනින් තැනට තල්ලු කරන්නේ නැතිව නිවැරදි තීන්දු අරගෙන මේ තත්ත්වය වෙනස් කරන්න ඕන. ජනාධිපතිවරයට අගමැතිතුමාට වගේම මටත් අවශ්‍ය බය නැතිව නිවැරදි තීන්දු ගැනීමටයි. ඊට සහය දීම හැමෝගෙම වගකීමක්. රටවල් දියුණු වුනේ බය නැතිව නිවැරදි තීන්දු තීරණ ගත්ත නිසයි. ඒ දේ අපේ රටටත් අවශ්‍යයි.

