ත්‍රිකුණාමලය, කින්නියා මහවැලි ගඟේ අනවසරෙන් වැලි කැනිම කරන වැලි ජාවාරම්කරුව් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කරන විට නොසන්සුන් තත්ත්වයක් ඇතිව තිබේ.
අද (29) පෙරවරුවේ මෙම සිදුවීම සිදුව ඇති අතර තත්ත්වය පාලනය කිරීමට නාවික හමුදාව අහසට වෙඩි තැබිමටත් කටයුතු කර තිබේ.
නීති විරෝධි අයුරින් වැලි පුරවාගත් ටිපර් රථ දෙකක් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුවත් එම ස්ථානයේ තවදුරටත් වැලි කැනීමී සිදුවීම වැළැක්වීමට වැටලීමක් කළ විට මෙම නොසන්සුන්තාව නිර්මාණය වී තිබේ.
වැඩිදුරටත් වාර්තා වන ආකාරයට පසුගිය දිනවල දිගින් දිගටම වැලි ජාවාරමේ නිරත පිරිස් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සහ විශේෂ ආරක්ෂක බලකාය එකතුව විශේෂ මෙහෙයුම් දියත්කර ඇත. ආසන්න දින කිහිපය තුළ වැලි ජාවාරමට යොදාගත් බෝට්ටු 6, ටිපර් රථ 2ක්, පුද්ගලයන් 7 අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ කටයුතු කර තිබේ. ඒ අනුව අද දිනයේද මෙහෙයුමක් දියත්කර ඇති අතර එහිදී තිදෙනෙක් පලාගොස් තිබේ. වැලි ජාවාරම්කරුවන් ගම්වාසීන් මෙහෙයවා ආරක්ෂක අංශ සමඟ ගැටුමක් ඇති කරවනු සඳහා උත්සාහ ගනු ලැබුවේ එම පළාගිය තිදෙනා අත්අඩංගුවට ගැනීමට සූදානම් වූ අවස්ථාවේ බව ආරක්ෂක අංශ ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේම මේ වන විට එම ස්ථානයට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර, නියෝජ්‍ය පොලිස්පති ඇතුළු පිරිසක්ද පැමිණ ඇති බවත් වාර්තා වන අතර ජාවාරම්කරුවන් වැටලීමේ මෙහෙයුම් අත්නොහරින බව ආරක්ෂක අංශ සඳහන් කරයි.




